අම්බලන්තොට, වැලිපටන්විල, උසන්ගොඩ සංචාරක බෝට්ටු නිෂ්පාදන කම්හලේ මෙරට තරුණයන්ගේ දෑතින් නිමවෙන සුඛෝපභෝගී සංචාරක බෝට්ටු විදෙස් ආයෝජකයන්ට ලබා දීම සිදු කෙරේ.
මෙලෙස මේ වසරේ ඉදිකිරීම් අවසන් කරන ලද සංචාරක බෝට්ටුවක් කැරිබියන් දූපත් ආශ්රිත කුරසාමෝ දූපතේ සංචාරක කර්මාන්තය සඳහා විදෙස් ආයෝජකයකුට ලබා දීම පසුගියදා සිදු විය. මුහුදේ පාවෙන අවන්හලක් ලෙසින් නිර්මාණය කර ඇති මෙම සංචාරක මගී යාත්‍රාව තුළ එකවරකට පුද්ගලයන් 150කට පමණ සේවා සැපයීමට පහසුකම් සලසා දිය හැකිය. දිගින් අඩි 78ක් පමණ වන මෙම සුඛෝපභෝගී යාත්‍රාව තුළ සේවකයන්ගේ විවේකය සඳහා කාමර දෙකක්ද තනා ඇත.
වැලිපටන්විල, උසන්ගොඩ බෝට්ටු නිෂ්පාදන කම්හලේ සාමාන්‍යාධිකාරි සමන් වීරවර්ධන මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.
“අපේ ප්‍රධාන කම්හල ගාල්ල කොග්ගල පිහිටා තිබෙනවා. උසන්ගොඩ, වැලිපටන්විල කම්හලේ නිෂ්පාදනය කළ මේ වසරේ පළමු සංචාරක බොට්ටුව මෙලෙස දියත් කිරීම සිදු කරනවා. කම්හලේ තරුණයන් 250ක් පමණ රැකියා කරනවා. ඒ අතර මෙම ප්‍රදේශයේම අය බහුතරයක් සිටිනවා. සියලුම ඉදිකිරීම් සිදු වන්නේ එම තරුණයන්ගේ දෑතින්. එයයි විශේෂත්වය. විදෙස් ශ්‍රමිකයන් හා උපදේශකවරුන් මෙහි නැහැ. අපට විදෙස් ආයෝජන ලැබෙනවා. ඒ අයගේ ඉල්ලීම් අනුව අප නිෂ්පාදනය කරනවා. දැනටමත් තවත් බෝට්ටු 5ක් කම්හලේ වැඩ කරමින් පවතිනවා. අද මෙසේ දියත් කරන සංචාරක බෝට්ටුව, පාවෙන අවහන්හලක්. කැරිබියන් දූපත් ආශ්රිත කුරසාවෝ දූපතටයි මෙය ගෙන යන්නේ. ගොඩබිම තනන මෙම යාත්‍රාව මුහුදට දියත් කිරීමට විශාල මුදලක් වැය කිරීමට අපට සිදු වුණා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් ලෙස නොතිබීම ගැටලුවක්. මෙය විදෙස් විනිමය මෙරටට ලබා ගැනීමට ඇති හොඳම සහ පහසුම මාර්ගයක්. මේ සඳහා රජය තවත් සහාය දක්වනවානම් මෙම කර්මාන්තය දියුණු කිරීමට හා රැකියා ලබා දීමට හැකි වෙනවා.”