කන්දකාඩු පුනරුත්තාපන හා කදවුර සම්බන්ධ සියලු දෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණ පවත්වා අවසන් බවත් එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කරමින් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ආසාධිතයන් හා  සම්බන්ධ ප්‍රථම සහ දෙවන සබඳතා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අද (15) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව කීවේය.

ඇසළ පෙරහැර මංගල්‍යය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සිදුකරන කොප්පරා පූජාව  ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේදී සිදු කෙරිණ. ඇසළ පෙරහර මංගල්‍යයේ පන්දම් සඳහා අවශ්‍ය කෝප්පරා පූජා කිරීම මේ යටතේ සිදු කෙරිණ. දන්තධාතූන් වහන්සේ වැද පුදා ගත් යුද හමුදාපතිවරයා පූජාව සංකේතවත් කරමින් අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත කොප්පරා පිළිගන්වන ලදි.

කොරෝනා රෝගීන් හා පිළිපැදිය යුතු ක්‍රමවේද පිළිබදව අවශ්‍ය තොරතුරු නිල වශයෙන් ප්‍රකාශ කිරීම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සිදු කරන අතර ඊට අමතරව ප්‍රචාරය වන කට කතා විස්වාස නොකරන්නැයි කී යුද හමුදාපතිවරයා මෙසේ ද සඳහන් කළහ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මේ වන විට පන්සිය තිස් දෙදෙනෙකු (532) ආසාදනය වී සිටිනවා. ඉන් හාරසිය හතළිස් හතර  දෙනකු(444) ම එහි පුනුරුත්ථාපනය වන පුද්ගලයන්. ඒ වගේම උපදේශකයන් සහ කාර්යමණ්ඩලයේ 64 දෙනෙකු ආසාදිත තත්ත්වයට පත්ව සිටිනවා. රාජංගණය ඇතුලුව තවත් 24 දෙනකු ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද ආසාධිත තත්වයට පත්ව සිටිනවා.

මෙය දෙවන දෙවන රැල්ලක් දැයි ප්‍රකාශ කිරීම අපහසු වන නමුත් මීට පෙර ද ප්‍රකාශ ඇති අයුරින් ඉදිරි දින කිහිපය ඉතාමත්ම වැදගත් වෙනවා.

ඔබ නිවසින් බැහැරට පැමිණෙනවා නම් අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳිය යුතුයි. එය තිබෙන්නේ නිකට ආවරණය කිරීමට නොව නහය සහ මුඛය ආවරණය කර ගැනීමටයි. දෑත් පිරිසිදු කර ගැනීමට මෙන්ම ශාරීරික දුරස්ථ භාවය රැකගැනීමටත් කටයුතු කළ යුතුයි.

එසේ ක්‍රියාත්මක වෙනවා නම් දෙවන රැල්ලක් ක්‍රියාත්මක වීම වළක්වා ගැනීමට හැකි වෙනවා.

තමුන් ආසාදිතයකු නොවීමට වගබලාගැනීම තමුන් සතු වගකීමක්. සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව වඩා හොඳින් පැහැදිලි කර තිබෙනවා. ඒ නිසා ආසාදිතයකු නොවීමට අවශ්‍ය පියවර ගත යුතු යැයි  යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

Similar Posts