පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවට අයත් කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ කුණු කසළ ප්‍රතිචක්‍රීකරණය නැවතී ඇති නිසා පනාවැන්න සහ ඒ අවට ගම්මාන රැසක පවුල් දහස් ගණනක් පීඩාවට පත්ව බරපතළ සෞඛ්‍ය ගැටලුවලට ලක්ව සිටින බව ප්‍රදේශවාසීන් බලධාරින්ට පැමිණිලි කර තිබේ. පසුගිය සතියේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා හමුවී මේ ගැන දැනුම් දුන් බව ගම්වාසීහු පැවසුහ.

රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් දෙසීයක් පමණ ආසන්නව කහවත්ත පනාවැන්න ප්‍රදේශයේ පිහිටි මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය මඟින් කුණු කසළ කොම්පෝස්ට් පොහොර බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණද මේ වන විට එය අක්‍රියව ඇති නිසා දැන් එම ස්ථානයට කසළ බැහැර කිරීම පමණක් සිදු වෙන නිසා බරපතළ අපිරිසුදුකමකින් හා මැස්සන්ගෙන් ද ප්‍රදේශවාසීහු පීඩා විඳිති. ගලි බවුසරයෙන් රැගෙන එන වැසිකිළි අපද්‍රව්‍ය මෙම ස්ථානයට ගෙන විත් කිසිදු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැතිව බැහැර කරන බවද ගම්වාසීහු පෙන්වා දුන්හ. එම මල අපද්‍රව්‍ය ප්‍රදේශයේ දිය පාරවලට මුසුවී නිවෙස්වලටද ගලාගෙන යන බවත් දුර්ගන්ධය, මැසි මදුරු උවදුර සහ අපවිත්‍ර බව නිසා විශාල පීඩාවකින් ජීවත් වීමට සිදුවී ඇති බවත් ගම්වාසීහු පවසති.

Similar Posts