කෑගල්ල බන්ධනාගාරය තුලදී සිදු වු පහර දීමකින් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව කියන සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මත්පැන් නඩුවක වරෙන්තුකරුවෙකු ලෙස ඉකුත් 27 දා ගොකරැල්ල පොලිසිය විසින් කුරුණෑගල, මදුරාගොඩ, වදුරැස්ස පදිංචිව සිටි ඩබ්ලිව්.ඩී.නාලක දේවබණ්ඩාර ගුණවර්ධන නැමැති තිස්හය හැවිරිදි එක්දරු පියා අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු සමඟ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර දෙදෙනාවම එදින මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ගෙන ගොස් ඉදිරිපත් කර ඇත. ඒ එදින නිවාඩු දිනයක් වු බැවිනි.

එහිදි මොවුන් දෙදෙනාට දඩ මුදල් නියම කළද දඩ මුදල් ගෙවීමට තැනක් නොවු හෙයින් 30 දා තෙක් බන්ධනාගාර ගත කර තිබේ. නාලක දේවබණ්ඩාර 29 දා මිය ගොස් ඇති බවද ඔහුගේ ඥාතීන් පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙතෙක් එම ඥාතීන්ගෙන් ලිඛිත පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ඥාතීන් විසින් මෙම තොරතුරු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ මරණ පරික්ෂණය සිදු කර දේහය නිවසට රැගෙන යාමෙන් පසුව බවත් නමුත් මාධ්‍ය මඟින් හෙළිකර තිබෙන තොරතුරු අනුව විමර්ශනයක් ආරම්භ කළ බවත් වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් (පාලන) කේ.ඩී.බී.ජයසිංහ මහතා පවසයි.

ශානි පොල්ගම්පල

Similar Posts