මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක මේ වනවිට චීන රජය විසින් ඉවත් කර තිබේ.

පසුගියදා මෙරටට පැමිණි චීන මහජන සමූහාණ්ඩුවේ රේගු පරිපාලනය පිළිබඳ (Vice Minister of General Administration of Customs) උප අමාත්‍ය Wang Lingjung මහතා ඇතුළු නියෝජිත පිරිස සමග කළ සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුව අවශ්‍ය තරම් කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීන වෙළෙදපලට අපනයනය කිරීමට ශ්‍රී ලංකාවේ අන්නාසි වගා කරුවන්ට මෙන්ම කුකුළු නිෂ්පාදන කර්මාන්තකරුවන්ට ඉඩ ලැබී තිබේ.

අපේ රටේ මෙම කෘෂි නිෂ්පාදන චීන වෙළෙදපලට අපනයනය කිරීම සඳහා පැවැති බාධක ඉවත් කර ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට විශාල කාර්යභාරයක් කිරීමට සිදු විය.

විශේෂයෙන් අපේ රටේ අන්නාසි වගා කරන ආකාරය මෙන්ම කුකුළු නිෂ්පාදනවල ගුණාත්මකභාවය එරට වෙළෙදපල තුළ තහවුරු කිරීම සඳහා ක්‍රමවේද ගණනාවක් සම්පූර්ණ කිරීමට සිදු විය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරින් විසින් ඒ සදහා සිදු කළ කැපවීම නිසා චීනයේ වෙළෙදපල අවස්ථාවන් අප රටට ලබා ගැනීමේ ප්‍රයත්නය මේ වනවිට සාර්ථක වී ඇතැයි ද අමාත්‍යවරයා පවසයි.

මේ අතර මෙරට නිෂ්පාදනය කෙරෙන ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් කවර කෘෂි නිෂ්පාදනයක් වුවද අපනයනය කිරීම සඳහා චීනයේ වෙළෙදපල අවස්ථාවන් ශ්‍රී ලංකාවට පුළුල් කිරීමට චීන රජය කටයුතු කරන බවට චීන උප අමාත්‍යවරයා සහතික වූ බව ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

Similar Posts