mahara

කොවිඩ් අධි වසංගතය සමයේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11දෙනෙකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව නීතිපතිවරයා ඉල්ලා අස්කරගෙන ඇත. විමර්ශන උද්ධෘත අධ්‍යනය කිරීමේදී නිලධාරින්ගේ සහ රැඳවියන්ගේ පෞද්ගලික ආරක්ෂාව සඳහා එම අවස්ථාවේ පොලිස් විශේෂ කාර්‍ය බළකා නිලධාරීන් නිත්‍යානුකූලව කටයතු කර ඇති බව මෙන්ම මෙම අවස්ථාවේ දි නිලධාරීන් සිය පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ඉක්මවා ක්‍රියාකර නොමැති බව නීරික්ෂණය වී ඇති බවත් එම නිසාවෙන් නීතිපතිවරයා බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර පනතෙහි 77 වැනි වගන්තියට අනුකූලව ක්‍රියාකර ඇති බව අනාවරණය වන බවත් නීතිපතිවරයා සඳහන් කර ඇත. ඒ අනුව නීතිපතිවරයා විසින් මෙම සිද්ධියට සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය නොවන බවත්, දෙපාර්තමේන්තුවේ පවත්වාගෙන යන ගොනුව වසා දැමීමට පියවර ගන්නා බවත් වැඩිදුරටත් දැනුම් දී ඇත.

පසුගිය කොවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් ඔවුන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීමට කොවිඩ් පරීක්ෂණ කරන ලෙස ඉල්ලමින් හා බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා රැඳවියන් විසින් විරෝධතාවයක් සිදුකර ඇති අතර එම අවස්ථාවේ ඔවුන් කලහකාරී ලෙසින් හැසිරෙමින් විරෝධතාවක නියැලී ඇත. එම විරෝධතාවය මැඩපැවැත්වීමට බන්ධනාගාර නිලධාරින් පළමුව කඳුළු ගෑස් ප්‍රහාරත් දෙවනුව රබර් උණ්ඩත් භාවිතා කර එම විරෝධතාවය මැඬපැවැත්වීමට උත්සාහගෙන ඇතත් ඉන් කැරැල්ල මැඬපැවැත්වීමට නොහැකි වූ බැවින් පසුව ජීව උණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තබා ඇති බව වාර්තාවල දැක්වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනක් තිස්සේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණය අවසානයේදී එම මරණ 11 මිනීමැරුම් බව තීරණය කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවිදාන මහතා අපරාධයට සම්බන්ධ සියලු බන්ධනාගාර නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කළේ මෙම කැරැල්ල මැඩ පැවැත්වීම සඳහා හෝ මානූෂීය මෙහෙයුමක් සඳහා වෙඩි තැබූ බවක් පෙනෙන්නට නොමැති බවත් එම මරණකරුවන්ට වෙඩි වැදි ඇති ආකාරය අනුව කලහකාරි අන්දමින් හැසිරුණු බව කියන රැඳවියන්ව විසුරුවා හැරීම වෙනුවෙන් බන්ධනාගාර නිලධාරින් වෙඩි තැබුවාදැයි සැක මතුවන බවත් ය. ඒ අනුව මරණකරුවන්ගේ තුවාල පිහිටා ඇත්තේ හිසෙහි පපුවෙහි හා උදරයෙහි යන ආදි ස්ථානවල බවත් ඒ අනුව කලහකාරි ලෙස හැසිරුණ රැඳවියන්ගේ දණහිසින් පහළට වෙඩි තැබුවායි යන්න තුළින් ගැටලුවක් ඉස්මතු වන බව අවධාරණය වේ.

Similar Posts