කොළඹ නගරය විටින් විට ජලයෙන් යට වී ජලය පිටාර ගැලීමේ ගැටළුව පිළිබඳ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු විය. එහිදී අනාවරණය වූ කරුණක් වූයේ කොළඹ නගර සභාව සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව අතර විධිමත් ආකාරයේ සම්බන්ධීකරණයක් නොමැති බවයි. පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණි.
කොළඹ නගරය තුළ මුල් අවස්ථාවේ හඳුනාගත් මූලික ව්‍යාපෘති 15, මේ වන විට 20 දක්වා වැඩි වී ඇති නමුත්, ඉන් 2015-2019 කාලය තුළ මහා නගර අමාත්‍යාංශය මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 6 ක් හැරෙන්නට පසුගිය වසර තුනක කාලය තුළ, වෙනත් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහනගර සභාවට නොහැකි වී ඇති බවද මෙහිදී අනාවරණය විය. එබැවින් පිටාර ජලය ඇතිවීම වැළැක්වීම සඳහා, අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කරන ලෙස කාරක සභා සභාපතිවරයා විසින් කොළඹ මහ නගර සභා නිලධාරීන්ට නිර්දේශ කළ අතර, ඒ සම්බන්ධව විටින් විට විමර්ශනයක් සිදු කිරීමට ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව බලාපොරොත්තු වන බව ද, දැන්ම් දුන්නේය.
එමෙන්ම, අදාළ ඉතිරි ව්‍යාපෘති සම්බන්ධයෙන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනත් සමඟ සාකච්ඡා කිරීමට කොළඹ මහ නගර සභා නිලධාරීන් යොමු කිරීමට ද, කමිටු සභාපතිවරයා විසින් මෙහිදී කටයුතු කරන ලදී. එමෙන්ම, කොළඹ නගරය වැසි ජලයෙන් යට වීම වැලැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳ සැලසුමක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව කොළඹ නගර සභාව වෙත නිර්දේශ කළේය.
එයට අමතරව සමනල වැවේ වැව් බැමිමේ වසර 30ක් තිස්සේ පවතින ජල කාන්දුව සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ. සමනල වැවේ ජල මට්ටම අඩුවීමත් සමග එහි තිබූ සිදුරු කිහිපයෙන් ප්‍රධාන සිදුරු හඳුනා ගැනීමට හැකියාව ලැබුණු නමුත් විදුලිබල මණ්ඩලය ඒ අවස්ථාවේ නිසි පියවර නොගත් බව කමිටුව හමුවේ අනාවරණය විය. මෙම කාරක සභාවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය සහභාගී නොවීම පිළිබඳ කාරක සභාවේ අවධානය යොමු වූ අතර පාර්ලිමේන්තු කාරක සභාවකට කැඳවීම් කළ විට ඒ සඳහා සහභාගී වීම අනිවාර්ය බවත්, එසේ නොකිරීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවත් කාරක සභාව විසින් මෙහිදී අවධාරණය කරන ලදී. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය වෙත දන්වන ලෙස කාරක සභාව කාරක සභාවේ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නේය.
සමනලවැවේ සිදුර එක දිගට වසර 30 ක පමණ කාලයක් මේ ආකාරයෙන් පැවතීමේ අනතුරුදායක බව පිළිබඳ භූ විද්‍යාඥයන් විසින් අනතුරු අඟවා තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව කැඳවීමට සහ ඒ පිළිබඳ ක්‍රියා කිරීමට කාරක සභාව හමුවේ සියළු පාර්ශවය එකඟතාවය පළ කළේය. එමෙන්ම කැළණි ගඟ සහ කළු ගඟ දෙපස බ්‍රිතාන්‍ය සමයේ පටන් පවතින පැරණි බැමිවල අනතුරුදායක භාවයක් පවතින බවත් මේ තත්ත්වයම සමනල වැව ආශ්‍රිතව ද පවතින බවත්, සමනල වැව වේල්ලට යටින් පවුල් 2000 ක් පමණ ජීවත්වන බවත්, එබැවින් ඒ ජනතාවගේ ජීවිත සහ කොළඹ නගරයේ ජන ජීවිත පිළිබඳ කටයුතු කළ යුතු බවත් මෙහිදී අවධාරණය විය. අදාළ සියලු ආයතන එක්රැස් වී වේලි ආරක්ෂණය පිළිබඳ විධිමත් ක්‍රියාමාර්ගයක් ගතයුතු බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය.