පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු මාසයකට වැඩි කාලයක් පුරා තමන් විසින් සිදු කළත් ගොවීන් වී තොග තමන් වෙත ලබා දීමට මැලි වී ඇතැයි වී අලෙවි මණ්ඩලයේ පොලොන්නරුව ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබද ව අප කළ විමසුමකට පිළිතුරු දෙමිණි.එහි දී වැඩි දුරටත් හෙතෙම සදහන් කළේ ගොවියාට පෞද්ගලික වෙළෙන්දන් විසින් ඉහළ මිලක් ලබා දී කුඹුරෙන් කැපූ සැනින් වී තොග රැගෙන යන බැවින් මෙසේ වී තොග නොලැබෙන බවයි.
“අපි මාසයකටත් වැඩි කාලයක් ගබඩා 28ක් විවෘත කරගෙන ඉන්නවා රජයේ සහතික මිලට වී මිලදී ගන්න.වී කිලෝවක් රුපියල් 50ක් වැනි මිලකට.නමුත් ගොවීන් අපට වී දෙන්න එන්නේ නෑ.
කමතටම පුද්ගලික වෙළෙන්දන් ගිහිල්ලා තෙත වී තොග ඉහල මිලක් දීලා ගන්නවා.අද වන විට අපි ට ලැබිලා තියෙන්නේ වී කිලෝ 73 000 යි.
අපි සාමාන්‍යයෙන් වී මෙට්‍රික් ටොන් 30 000ක් පමණ මිලට ගන්න අපේක්ෂා කරනවා සෑම කන්නයක දීම දැන් කන්න කිහිපයක් ම අපට වී ලැබෙන්නේ නෑ.අද පුද්ගලික වෙළෙන්දන් තෙත නාඩු වී කිලෝ එක රුපියල් 44 ට 45 ට මිලට ගන්නවා.
සම්බා රුපියල් 50 ට 51 ට මිලට ගන්නවා.අපි සියයට 14ක් තෙත තියෙන හෝ ඊට අඩුවෙන් තෙත තියෙන වී මිලට ගන්නේ නමුත් වේලන්න යන කුලියත් කාලයත් බර අඩු වීමත් කියන ප්‍රශ්න නිසා ගොවියා අපට වී දෙන්නේ නෑ.අපිත් රුපියල් 44 ට තෙත වී ගන්නවා.
නමුත් අපි ලගට ඒවා ලැබෙන්නේත් නෑ.
දිසාපතිතුමාත් වී මිලට ගන්න කටයුතු කළා. නමුත් ඒ වැඩපිළිවෙලටත් ගොවියෝ වී ගෙනත් දෙන්නෙ නෑ.වී කිලෝ 1038ක් තමයි එතන මිලට අරගෙන තියෙන්නේත්.
අද සම්බා රුපියල් 57ට 58 ට මිල ගිහින් තියෙනවා වේලලා.නමුත් ගොවියාට සියලු අතින් ලාබයි තෙත වී දෙන එක ඒ නිසා අපට වී තොග එන්නේ නෑ.දැනටත් අපි දිස්ත්‍රික්කයේ ගබඩා 24ක් ඇරලා තියාගෙන ඉන්නවා.” යැයි ද නිමල් ඒකනායක මහතා වැඩි දුරටත් පැවසීය.
ඊෂා මුදියන්සේ- පොලොන්නරුව