තමන්ගේ වාචික නියෝග යනු චක්‍රලේඛ ලෙසින් සලකා කටයුතු කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේම නියෝග කළේය.

ජනාධිපතිවරයා මෙම නියෝගය ලබාදුන්නේ බදුල්ල, හල්දුම්මුල්ල, වෙලංවිට ගම්මානයේදී ඊයේ (25) පැවති “ජනපති ගම සමඟ පිළිසඳර” සාකච්ඡා මණ්ඩපයේ පළමු වැඩසටහන අමතමිනි.

එහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා “චක්‍රලේඛනයක් කියන්නෙ … ජනාධිපතිවරයා කිව්වට පස්සේ ඒක තමයි චක්‍රලේඛනය. තේරුණාද ? පාවෙන ජනාධිපති කෙනෙක් නෙවෙයි මම. හරිද ? ජනාධිපති හැටියට එහෙම තමයි මම. ඒක නැත්නම් මම ඒ නිලධාරියාට විරුද්ධව වැඩ කරනවා.

මේක මම ප්‍රසිද්ධියේ කියන්නේ. මම කියන එක මම මේවා හොයලා බලලා තමයි කියන්නෙ. ජනතාව වෙනුවෙන්. ඒක තමයි චක්‍රලේඛනය !

ඒක අද ලියාගන්න. මෙන්න මේ චක්‍රලේඛනය ජනාධිපතිවරයා විසින් අහවල් දවසේ අහවල් වෙලාවට නිකුත් කළා. ඒක තමයි චක්‍රලේඛනය. හරිද ?

ඔයාගෙ උසස් තැනට ඒක ලියන්න. ලියලා දැන් මේවා මේ වගේ ඒවා ඉක්මනට විසඳලා දෙන්න. මම මේ හැමෝටම කියන්නෙ. චක්‍රලේඛනය කියන්නෙ ජනාධිපතිවරයා කියන එක. ඊට වඩා එහා මොනවද ? විධායක ජනාධිපති කියන්නෙ ඒකනෙ. තේරුණාද ?

දැන් අපි යුද්ධයක් තියෙනකොට චක්‍රලේඛන යැව්වද ? ජනාධිපතිවරයා චක්‍රලේඛන යව යවා හිටියා නම් තාමත් යුද්ධ කරනවා. මේකත් යුධයක්. ජනතාව ජීවත් කරවීම කියන්නෙ යුද්ධයක්” යනුවෙන් තරයේ අවධාරණය කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට වෙලංවිට ජනතාවගෙන් ඉතාම ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

Similar Posts