දිවයින තුළ සමාජ-ආර්ථික සංවර්ධනයක් ඇතිකිරීම සඳහා ගුණාත්මක, පිරිවැය ඵලදායී සහ ආරක්ෂාකාරී ඒකාබද්ධ ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් මගින් ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම විවිධ ගමනාගමන අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා සහතිකවීම අරමුණු කරගත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ  වගකීම් විරහිත ක්‍රියා කලාපය දැඩි පිළිකුලින් යුතුව හෙළා දකින බව  සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

දිගින් දිගට බොරු පොරොන්දු ලබා දෙමින් මගී ජනතාව රවටමින් සිටින ජාතික ගමනාගමන කොමිසම ඇතුළු ප්‍රවාහන බලධාරීන් පසුගිය වසරේ (2018) දෙසැම්බර් 31 වැනිදායින් පසුව අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කිරීමට ගත් තීරණය ද මෙවැනිම බොරු පොරොන්දුවක් බවට පත් වු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ  කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත මහතා නිවේදනයක්  සඳහන් කර සිටියි.

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් ,මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ මගී ප්‍රවාහන කළමණාකරණ සේවා විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානයට යොමු වීම පිළිබඳව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ ප්‍රසාදය පළ කර සිටින අතර  හැකි ඉක්මනින් අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අවසන් කර දැනට එම සේවාවේ යෙදෙන බස් රථ සුඛෝපභෝගී බස් රථ හෝ සාමාන්‍ය සේවා බස් රථ බවට පරිවර්තනය කර ගත යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ශානිකා මාධවී

More Stories