ගෙවුණු දින 14 තුළ පමණක් රට පුරා ඩෙංගු රෝගීන් 4,000කට ආසන්න පිරිසක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.වසරේ මේ දක්වා ගතවූ මාස 5 තුළ පමණක් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,000කට අධිකය.

මේ දිනවල පවතින වැසි තත්ත්වය එක්ක ඩෙංගු සීඝ්‍ර්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.

මේ වසරේ ජනවාරි පළමු වැනිදා සිට අද දහවල් දක්වා කාලය තුළ ජාතික ඩෙංගු මර්දන ඒකකයට සමස්ත දිවයිනෙන්ම වාර්තා වී තිබුණු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,656 කි.

එමෙන්ම මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී තිබේ.ඒ අතරින් ගෙවුණු සතිය, එනම් මැයි පළමු වනදා සිට 7 වනදා දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.එම සංඛ්‍යාව 475 කි.

දෙවනුවට වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වන 412දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයෙන්ද, රෝගීන් 136ක් මහනුවර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වී තිබුණි.ඒ අනුව ගෙවුණු සතියේදී පමණක් ඩෙංගු රෝගීන් 1,954 දෙනෙක් මෙරටින් වාර්තා වී තිබූ අතර ඉන් සියයට 51.7ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

ඩෙංගු රෝගීන් වාර්තාවන ප්‍රමාණය අනුව රට තුළ අධි අවදානම් කලාප කිහිපයක් ජාතික ඩෙංගු මර්දන ඒකකය මගින් මේ වන විට නම් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ එම කලාප වන්නේ,

කොළඹ මහ නගර සභා සීමාව

ගොතටුව

පිළියන්දල

කඩුවෙල

මහරගම සහ බත්තරමුල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයන්ය.

ගම්පහ දිස්ත්‍රික්කයේ,

වත්තල

මීගමුව

බියගම

රාගම සහ ජාඇළ යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ ද අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ.

ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබන්නේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. , කළුබෝවිල ශික්ෂණ රෝහල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ මහනුවර ජාතික රෝහලේය.

මේ අතර ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් සහ දැනුවත් කිරීම් අදත් ක්‍රියාත්මක කෙරුණි.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත සංවිධාන කෙරුණු ඩෙංගු මර්දන වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්වුණේ මෝදර, ලෙල්ලම ප්‍රදේශයේදීය.

Similar Posts