එළැඹෙන දීපවාලි උත්සව සමය වෙනුවෙන් අලෙවි කිරීම සඳහා භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 30ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් ලොරි රථයේ ගමන් ගත් රිය සහායකයා බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව වටවල පොලිසිය පැවසීය.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (07) උදෑසන 6.00ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල සිංහල විදුහල ආසන්නයේදීය. අනතුරට පත් ලොරි රථයේ රියැදුරා කියා සිටින්නේ අවශ්‍යතාවකට ලොරි රථය මාර්ගය අයිනේ ගාල් කිරීමට යෑමේදී ලොරි රථය ප්‍රපාතයට පෙරළී මෙම අනතුර සිදු වූ බවයි. ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේ ඒ තුළ තිදෙනකු ගමන් කර ඇති බවත්, අනතුරෙන් ලොරි රථයට දැඩි අලාභ හානි සිදුව ඇති බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.