desabandu

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් ඉල්ලා කාදිනල් හිමියන් ඇතුළු පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනලදි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතීඥ සු⁣⁣⁣රේන් ප්‍රනාන්දු, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ජනාධිපති නීතිඥ විරාන් කොරයා, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, නිතීඥ තිශ්‍ය වේරගොඩ ඇතුළු නීතීඥවරු පිරිසක් අධිකරණය හමුවේ කරුණු දැක්විය.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් කියා සිටින්නේ, පොලිස්පතිවරයා වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලැබූ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව විසින් විධිමත් ආකාරයෙන් අනුමත කර නොමැති බවයි.

එවැනි අවස්ථාවක ඔහු එම තනතුර සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් අවධාරණය කර තිබුණි.

පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ, එබැවින් අදාළ පත් කිරීම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම, ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් දේශබන්දු තෙන්නකෝන් මහතා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Similar Posts