ශ්‍රි ලංකා නාවික හමුදාවේ සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල් වල අය කොන් කිරිමෙන් හා ඔවුන්ව අපහසුතාවයට පත් කිරිමෙන් වළකින ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා රටේ මහජනතාවට ප්‍රකාශ කර සිටියි.

රටේ පවතින කොවිඞ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගන්න සෞඛ්‍ය අංශ සමඟ උරෙන් උර ගැටී ක්‍රියා කළේ අපේ ත්‍රිවිධ හමුදාව බව පෙන්වා දෙන ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ මත්ද්‍රව්‍ය වලට යොමු වු තරුණ පිරිසක් නිරෝධායනය කිරිම සඳහා ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් පියවර ගත් අතර එහිදි නාවික හමුදාවේ පිරිසකටත් මෙම රෝගය ආසාදනය වු බවය. මේ බව නොදැන නිවාඩු ගිය සෙබලුන්ද සිටි හෙයින් සියලු දෙනා නැවත කඳවුරු වලට ගෙන්විමට කටයුතු කළ බවද ඔහු පවසයි.

නමුත් මෙම තත්ත්වය මත රටේ ඇතැම් තැන් වලින් මේ නාවික හමුදා සාමාජිකයින් මෙන්ම ඔවුන්ගේ පවුල් වල අය කොන් කිරිමට ලක් කරන බව දැන ගන්නට ලැබි ඇති බවත් මෙම නාවික සාමාජිකයින්ට මෙම වෛරසය ආසාදනය වුයේ ඔවුන් ඔවුන්ගේ ජිවිත ගැන නොසිතා අපේ රටේ ජනතාව අතර මේ රෝගය පැතිරි යාම වැලැක්වීමට යාම නිසා බවත් අවධාරණය කර සිටියි.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව අද (29) පස්වරුවේ ප්‍රකාශ කර සිටියේය.

ශානිකා මාධවී

More Stories