දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් 6 දා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට ආණ්ඩුව තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී මේ තීරණයට එළැඹිණ.
එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සමාලෝචනයට ලක් කෙරුණු අතර, මෙතෙක් එන්නත ලැබී නැති වයස අවුරුදු 30ට වැඩි යම් පුද්ගලයෙක් හෝ ප්‍රදේශයක් වේ නම් ඒ බව දන්වා, අවශ්‍ය එන්නත් ඉල්ලුම් කරන ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් දැනුම්වත් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
යම් කරුණක් හේතුවෙන් එන්නතේ පළමු මාත්‍රාව ගැනීමට නොහැකි වූ අයෙක් වේ නම් දෙවැනි මාත්‍රාව දෙන ස්ථානයකදී එය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් කෙරිණ.
මේ වයිරසය පාලනය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් නිර්දේශ ඉදිරිපත් කළ වෛද්‍යවරු සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රධානීන් ඉදිරියේදී ද ගත යුතු සුදුසුම ක්‍රියාමාර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.