ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව ඔහු හට කොරෝනා වෛරසය ආසාදිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කල පරීක්ෂණ වලදී ඔහු වෛරසය ආසාධිතයෙකු බවට තහවුරු කරගෙන ඇත.
පසුව ඔහු සෘජුවම සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් 23 දෙනෙකු හට ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය මගින් ඔවුන්ගේ වාසස්ථාන තුලම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දෙන ලදි. නමුත් මතට ඇබ්බැහි වූ මෙම පිරිස ස්වයං නිරෝධායන නීති රීති කඩ කරමින් ප්‍රදේශයේ සැරි සරන බවට තොරතුරු ලැබී තිබුනි.
ආරක්ෂක අංශ මග හරිමින් සිටි මෙම පිරිස සොයා බටහිර නාවික විධානය මගින් විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර මෙම පුද්ගලයින් 23 දෙනා නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය. මේ වන විට මෙම පුද්ගලයින් ජා ඇල ආවේ මරියා දේවස්ථානයේ නාවික හමුදා භාරයේ තබා ඇති අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතය.
මේ සඳහා ජා ඇල මරදමඩු දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා සහ ජා ඇල පොලීසියත් ජා ඇල දිසා වෛද්‍ය අංශයේ නිලධාරීනුත් සහාය ලබා දෙන ලදි.