බෝකුන්දර නගරයේ සිට කැස්බෑව නගරය දක්වා ගමන් කළ හැකි අලුතින් ඉදිකළ නව විකල්ප මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට මෙන්ම වාහන වලට අන්තරාදායක අන්දමින් විවිධ වර්ගයේ යතුරු පැදිධාවනය කරමින් ප්‍රධාන මාර්ගයක යතුරු පැදි තරග පවත්වමින් සිටී තරුණයින් පිරිසක් යතුරු පැදි 24 සමග සැකකරුවන් 39 දෙනෙක්   (26) වන දින අලුයම් කාලයේ 02.00 පමණ අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 සිට 24 දක්වා තරුණයින්  සිටින බවත් මොවුන් විසින් අන්තරාදායක අන්දමින් පැද වූ යතුරු පැදි විසිහතරක් අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.
 මෙම තරුණ පිරිස දෙමාපියන්ට අසත්‍ය ප්‍රකාශයන් සිදුකර නිවාස වලින් පැමිණ මෙවැනි ආකාරයෙන් යතුරු පැදි වලින් විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් පාරේ ගමන් ගන්නා මිනිස්සුන්ට හිරිහැර වන පරිදි යතුරු පැදිවල හඬ වෙනස් කර හා අධික වේගයෙන් ධාවනය කරමින් සිටින බවට පොලිස් ස්ථානය වෙත මහ ජනතාවගෙන් ලද පැමිණිලි අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
ඉකුත් සතියේ සෙනසුරාදා දිනද මෙවැනිම ආකාරයෙන් යතුරු පැදි වලින් රේස් පදමින් සිටියදී පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවත් එම සැකකාර  පුද්ගලයන් හය දෙනාට මෙවැනි ආකාරයේ ක්‍රියා නොකරන ලෙස තරයේ අවවාද කර ඇප මත මුදාහළ බවත් අධිකරණයෙන් ලැබුණු නියෝග මත මෙම මාර්ගයේ රාත්‍රියේ මුර සංචාර හා සිවිල් පොලිස් නිලධාරීන් යොදවා සිදුකළ මෙහෙයුමේදී යතුරු පැදිවලින් අනුන්ට හිංසාකාරි  අන්දමින් මාර්ගයේ යතුරු පැදි  ධාවනය කරන මෙම පුද්ගලයන් පිරිස මහත් පරිශ්‍රමයක් යොදා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
 අත් අඩංගුවට ගත් යතුරුපැදි අතර ශ්‍රී ලංකාවේ ලියා පදිංචි කළ නොහැකි එන්ජින් ධාරිතාවය 1800cc වර්ගයේ යතුරු පැදියක් ද ඇති බවත් එම යතුරු පැදියේ අංක තහඩුව ඒ විටින් විට වෙනස් කළ හැකි අන්දමේ සකසා ඇති බවත් පොලිසිය පැවසීය.
මෙම මාර්ගයේ මීට පෙර මෙවැනි අන්දමින් යතුරුපැදි වලින් විවිධ ක්‍රියාකාරකම් කරමින් සිටි පුද්ගලයින්ට සිදු වූ අනතුරුවලින් මරණය පවා සිදු වූ බවත් ඉකුත් සෙනසුරාදා දිනයේ හය දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට විරෝධය දක්වමින් මුහුණු පොතෙන් හඳුනා ගත් පිරිසක් මෙම ක්‍රියාකාරකම්වල යෙදී ඇති බවත් කරුණු අනාවරණය වූ බව පොලීසිය පැවසී.
අත්අඩංගුවට ගත් පිරිස කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ ගල්කිස්ස කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසූරිය මහතාගේ මෙහෙයවීමෙන්  පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු, උප පොලිස් පරීක්ෂක කවිෂ්ක,උප පොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු නිලධාරීන් විසින් සිදු කරනු ලබයි

More Stories