ජාතික ආරක්ෂාවට අදාලව අසත්‍ය හා තහවුරු නොකළ කරුණු ඇතුලත් ලිපියක් කොළඹ හෝටල් 10 ක් වෙත යැවීම සම්බන්ධයෙන් කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හා පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගෙන තිබුණේ පෙරේදා (08) දිනය.

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් ඉකුත් මස අග දිනකදී දන්වා තිබුණේ ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරයක් මෙන් ප්‍රහාරයක් යළිත් ඔක්තෝම්බර් 15-25 අතර දිනකදී සිදු විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවත් එහෙයින් යළිත් හිංසාකාරී ප්‍රහාරයන් කිතුණු දේවස්ථාන වෙත එල්ල වීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය. එමෙන්ම ඇතැම් අන්තවාදි කොටස් රට තුල දිගින් දිගටම කලබලකාරි වාතාවරණයක් ඇති කරමින් මැතිවරණ උණුසුම පවතින කාල සීමාව තුල තත්ත්වය තවත් ව්‍යාකූල කිරිමේ හැකියාවක් ඇති බැවින් පෙර තිබු ආරක්ෂක තත්ත්වය යළිත් ක්‍රියාත්මක කරන ලෙසය.

එම ලිපියට අදාලව ජාතික බුද්ධි ප්‍රධානි මේජර් ජෙනරාල් ජේ.ආර්.කුලතුංග මහතාගේ අත්සනින් යුත් ලිපියක්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙත 2019-10-01 වෙනි දින යොමු කරමින් පවසා තිබුණේ බුද්ධි සම්බන්ධිකරණ සාකච්ඡාවේදි ලබා දුන් තොරතුරු අනුව ඉහත සඳහන් කාල සීමාවන් ආවරණය වන පරිදි දේවස්ථාන හා පුද්ගලයින්ගේ ආරක්ෂාව තහවුරු වන පරිදි සුදුසු ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන මෙන්ය. මෙම ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශිර්ෂය යටතේ යොමු කෙරුණු මෙම ලිපියේ පිටපත් යුද, නාවික, ගුවන් හමුදාපතිවරුන්ට හා වැඩ බලන පොලිස්පතිවරයා වෙතද යොමු කර තිබුණි.

මේ පාස්කු ප්‍රහාරයේදි කොළඹ කොටුව පිහිටි ෂැංග්‍රිලා හෝටලය හා කිංස්බරි හෝටලය ද ඉලක්ක වී තිබු හෙයින් නැවත වරක් ආරක්ෂක අංශ වලට සංචාරකයින්ගේ ජිවිත ගැන අවදානමක් ඇති විය.

මේ දින වල කොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ මහතා  නොසිටි හෙයින් කොටුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා හා පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂකවරයා වහාම ක්‍රියාත්මක වුයේ දෙවරක් නොසිතාය.කොටුව නගරයේ ඇති ප්‍රසිද්ධ හෝටල් වල තොරතුරු ඔවුන් සතු වුවත් ඒවා යාවත්කාලීන කර ගනිමින් ප්‍රසිද්ධ හෝටල් 10 ක ආරක්ෂක අංශ වෙත ලිපියක් 2019-10-02 වෙනි දින යොමු කරමින් හෝටලයට නවාතැන් ගැනීමට පැමිණෙන දේශිය හා විදේශිය තැනැත්තන්ගේ තොරතුරු ඇතුලත් වාර්තාවක් දෛනිකව ලබා දෙන ලෙසත් පැමිණෙන පුද්ගලයින් දැඩි පරික්ෂාවට යොමු කරන ලෙසත් දන්වා සිටියේය.

මෙම ලිපි යොමු කෙරුණේ හිල්ටන්, ගලදාරි, කිංස්බරි, ෂැංග්‍රිලා, ටාජ්, ග්‍රෑන්ඞ් ඔරියෙන්ටල්, සිටි, ස්ටුවට්, ෆෙයාවේ හා ද වන් නැමැති හෝටල් 10 වෙතය.

පාස්කු ඉරුදින ප්‍රහාරය පිලිබඳවද බුද්ධි තොරතුරු ලැබී තිබුණත් ඒවා ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුයේ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට හා අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පුජිත ජයසුන්දරටය. එමෙන්ම ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තන් සොයා තවමත් පරික්ෂණ කෙරෙන්නේය.

එවන් පසුබිමක් තුල බුද්ධි තොරතුරු ලැබී තිබියදිත් අවදානමක් ගැනීමට කොටුව පොලිසියේ මෙම නිලධාරින් දෙදෙනා සිතුවේ නැත. එහෙයින් අවදානමට පෙර සුදානමක් ලෙසින් ඔවුන් ක්‍රියාත්මක විය. නමුත් මෙම ලිපියද මෙම හෝටල් 10 අතරින් කිසියම් අයෙක් සමාජ මාධ්‍ය ජලා වෙත මුදා හැර තිබුණි.

එමෙන්ම කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට දන්වා ඇති බව පැවසේ. ප්‍රධාන පොලිස් පරික්ෂක සාගර ලියනගේ යනු කලක් ඔහුද වැඩ තහනමට ලක්ව සිටි පුද්ගලයෙකි. 2011 වසරේදි පමණ ඔහුට නිට්ටඹුව පොලිස් වසමේදි මිය ගිය කාන්තාවකගේ රන්බඩු අතුරුදහන් වීමක් පිලිබඳවද චෝදනා එල්ල විය. ඒ වනවිටත් ඔහු සිටියේ වැඩ තහනමකට ලක්වය. මොහු ඩබල් ගේම් ගසන්නෙකු බව මුලු පොලිස් දෙපාර්තමේන්තුවම දන්නා කරුණකි.

යහපත් නායකයෙකු තමන් යටතේ සිටි අයව රැක ගන්නවා විනා ඔවුන්ට වින කටින්නේ නැත.එහෙත් කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා එසේ වුයේ නැත. ඔහු සිදු වු දෙය සොයා බලනවා වෙනුවට කෙලින්ම සිය පහළ නිලධාරින්ට චෝදනා එල්ල කළේය.

අවසානයේ වුයේ කොටුව පොලිස් ස්ථානාධිපති ලෙසට අත්සන් කරමින් ජාතික ආරක්ෂාවට අදාලව අසත්‍ය හා තහවුරු නොකළ ලිපියක් යැවු බවට ප්‍රධාන පොලිස් පරික්ෂක නිරෝෂාන් සුරියකුමාර හා පාලන අංශයේ ස්ථානාධිපති වෙත චෝදනා එල්ල වීමය.

කෙසේ නමුදු අවසානයේ පොලිස් මුලස්ථානයේ සිදු කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇති මුලික කරුණු කිහිපයක් මත මෙම නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරිමට පොලිස් මුලස්ථානය පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කර සිටියි.

වැඩ තහනමට ලක් වු පොලිස් නිලධාරින් දෙදෙනා තවමත් සිටින්නේ සිදු වුයේ කුමක්දැයි සිතා ගැනීමට නොහැකිවය. ඔවුන් අල්ලස් ගෙන වැඩ තහනම් වුයේ නැත. සිදු වුයේ ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමය. ඊට ඔවුන්ට ලැබුණේ රාජකාරිය අහිමි වීමය.

මෙය සමස්ත පොලිස් නිලධාරින්ගේම අප්‍රසාදයට හා කළකිරිමට හේතු වි තිබේ. ඇතැම් ටි මෙම ලිපිය නොයවා සිටියදි යම් දෙයක් සිදු වුවේනම් ඊට හේතු විමසා ඇයි කලින් දැනුවත් කළේ නැත්තේ යන්න විමසයි.

එහෙයින් දැන් පොලිස් නිලධාරින්ට සිදුව ඇත්තේ රැවුලත් කැඳත් දෙකම බේරාගෙන වැඩ කිරිමටය.

මෙම ලිපිය මෙන්ම ජාතික බුද්ධි ප්‍රධානි යැවු ලිපියද සමාජ ජාලා වල සංසරණය වීම නිසා බොහෝ දෙනා තැති ගැන්මෙන් සිටි බව සැබෑවකි. එහෙයින් මෙවන් ජාතික ආරක්ෂාවට වැදගත් ලිපි ලේඛන සමාජ මාධ්‍ය වෙත යන්නේ කෙසේද යන්න පිලිබඳවද ආරක්ෂක අංශ සොයා බැලිය යුතුව ඇත. මන්ද? එයද ආරක්ෂාවට තර්ජනයක් බැවිනි.

-ශානි-

More Stories