මිනිස් නිදහස ආකාර දෙකකින් අභිමුඛ වේ. ඒ ආත්මීය නිදහස හා සමාජයීය නිදහස ලෙසිනි. නිදහසේ පරම ආකෘතියක් පිළිබඳ විශ්වාසයක් මේ ඕනෑම ආකෘතියක හමුවිය හැක. ආත්මීය විමුක්තියේ පරමත්වයක් ආගමකින් පොරොන්දු වන අතර (ස්වර්ගය, නිර්වාණය වැනි) සමාජයීය විමුක්තියේ පරමත්වයක් දේශපාලනය විසින් පොරොන්දු (විප්ලවය, පරිභෝජනය වැනි) වේ. විසාකේස චන්ද්‍රසේකරම් නම් සිනමාකරුවා සිය දෙවැනි සිනමා නිර්මාණය ‘පාංශු’ (2020) ඉහත සලකුණු කළ වපසරියේ ලාංකික සුවිශේෂයකින් සන්දර්භගත කරයි.
නිදහස හෝ විමුක්තිය පිළිබඳව කලාත්මක කතිකාවක් ලෙස පාංශු ඉතා නිර්මාණශීලී වන්නේ ආත්මීය වේවා, සමාජයීය වේවා විමුක්තියට ඇති මාර්ගයේ මගහැරිය නොහැකි කඩඉමක් ලෙස ‘හිංසනය’ (violence) විරුද්ධාභාසී (paradoxical) සාධකයක් ලෙස අභිමුඛ වීම නිරූපණයෙනි. වරෙක සමාජ විමුක්තියක් කරා ගමන් කළ බබා නෝනාගේ පුත් කමල් ශාන්තට ද අනතුරුව ආත්මීය විමුක්තියක් පතන බබා නෝනාට ද හිංසනය මග හැරිය නොහැකි ලෙස අභිමුඛ වේ.
‘පාංශු’ චිත්‍රපටය 1989 ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ අරගලයේ පරිවාරයේ නියෝජනයන් සමග ඉහත සදහන් කළ සත්භාවාත්මක (ontological) ප්‍රශ්නවලට කලාත්මක ආමන්ත්‍රණයක් කරයි. ඒ අර්ථයෙන් චිත්‍රපටයේ එක් අන්තයක රාජ්‍ය මර්දනය ලෙස ලයනල් නම් හමුදා නිලධාරියෙකි. අනෙක් පස විමුක්ති අරගලයේ පරිවාර කමල් නම් තරුණයෙකි. මීට එපිටින් හීන කුල බබා නෝනා නම් කතා නායිකාව සිටී. සමාජ විමුක්තියක් ප්‍රාර්ථනය කළ පුතා කමල් වෙනුවෙන් ආත්මීය විමුක්තියක් ප්‍රාර්ථනය කරන මව බබා නෝනා හරහා චිත්‍රපටය අපට උගන්වන කලාත්මක විමුක්ති මාර්ගය කුමක්ද ?
අරගලයේ කලාත්මක ශේෂ පත්‍රය
බැලූ බැල්මට බබා නෝනාගේ චිත්‍රපට කාල පැවැත්ම ගැටලු දෙකක් සමග අරගල කරයි. ඒ සිය පුතා ජීවත්වන්නේද නැද්ද යන්න හා සිය පුතා රූපවතී නෝනාව ඝාතනය කළේද නැද්ද යන්නයි. පාංශු චිත්‍රපටය මෙහිදී නොවැළැක්විය හැකි ලෙස අපට සත්‍යජිත් මාඉටිපේගේ ‘ස්මරණ සමාප්ති’ (2000) ටෙලි චිත්‍රපටය හා විජිත ගුණරත්නගේ ‘වලාපටල’ (2009) චිත්‍රපටය මතක් කරයි. චිත්‍රපට දෙකෙහිම සිටින්නේ හිංසනීය ඉතිහාසයට සෘජු සම්බන්ධයක් නොමැති කතා නායකයින් දෙදෙනෙකි. චිත්‍රපට තුනටම අනුව ඔවුන් දෘෂ්ටිවාදීව නිදහස් මිනිසුන්ය. ඔවුන් සෘජුව රාජ්‍ය හෝ විප්ලවීය මත දෙකම නොදරයි. ඒ වෙනුවට ඔවුන් පය ගසනා දෘෂ්ටිවාදය කුමක්ද? විශේෂයෙන් විසාකේසගේ කලාත්මක විමුක්ති චරිත සංවිධානය කෙවැනිද?
චිත්‍රපට පිටපතක් නරඹන්නියට කලාත්මක සත්‍යයක් කරා රැගෙන යා හැකි ආකෘති සංකීර්ණය. අවශ්‍ය නම් නරඹන්නියව චරිතයක් හා තදාත්මික අනන්‍යකරණයකින් සිනමා චාරිකාවක් රැගෙන යා හැක. චරිතයේ මනෝලිංගික තත්ත්ව හා ඇලෙන, සීචනය වන නරඹන්නියව එවිට හැසිරවෙන්නේ චරිතය මූලිකවය. එවිට චිත්‍රපටය සත්‍ය ප්‍රතිනිර්මාණ ආකෘතිය චරිතය කේන්ද්‍රීයය. නැතහොත් සිනමා ආඛ්‍යානයම චිත්‍රපටයේ ආකෘතිය කොට ගනී. එවිට චිත්‍රපටයේ රූපකාර්ථ හෝ ව්‍යුහාත්මක පරතර නරඹන්නියව තිරයට අලවා තැබීමේ මනෝලිංගික යාන්ත්‍රණය පවත්වාගනී. ‘පාංශු’ නිර්මාණකරු මින් පළමුවැන්න තෝරාගෙන ඇත. එනම් බබා නෝනාගේ චරිතයට නරඹන්නියව සීචනය හරහා අපි වෙනුවෙන් ජීවත්වන අහිංසක අනෙකෙක් නිර්මාණය කොට ඇත.
මෙහිදී චිත්‍රපටය වඩා බරක් තබන්නේ කතා පුවත සලකුණු කොට ඇති වපසරියේ දේශපාලන පසුබිමේ පද්ධතිගත හිංසනයට වඩා වාස්තවික හිංසනයටයි. එසේම චිත්‍රපටයේ නිරූපිත පරිදිම රාජ්‍ය විසින් සන්නද්ධ අරගල කණ්ඩායම වෙත ද පෙරළා අරගල කණ්ඩායම විසින් ඊට ප්‍රතිපක්ෂව මුදාහරින වාස්තවික සන්නද්ධ හිංසනයේ යුක්ති යුක්තභාවය (?) කලාත්මකව විමසීමටයි. එහිදී චිත්‍රපටය ඉතා සියුම් ලෙස මේ වාස්තවික හිංසනයට පදනම් වන පද්ධතිගත හිංසනය සිනමා රාමුවෙන් මකා දමයි. චිත්‍රපටය නිශ්චිත සමාජයක් ලෙස අසූවේ ලාංකික අරගලයක ප්‍රතිවිරෝධතා තුළට ඇතුළුවීම වෙනුවට හේතුඵලවාදී සෞන්දර්යකරණයකට පිවිසෙයි. පාංශු‘හි කලාත්මක කූටප්‍රාප්තිය වන්නේ බබා නෝනා තුවක්කුව (හේතුව) වැවේ සැඟවීමයි.
පෙර ද සදහන් කළ පරිදි චිත්‍රපටයක දෘෂ්ටිවාදී සීචන තාක්ෂණය සංකීර්ණය. පද්ධතියක් ලෙස සමාජය සංවිධානයවීමේදී කුලය, ආර්ථික පංති සබඳතා පද්ධතියේ පැවැත්ම උදෙසා මුදාහරින හිංසනයේ මූලයන් පාංශු චිත්‍රපටය මකා දමයි. අරගලකරුවන් රූපවතී නෝනා ඝාතනය උත්කර්ෂවත් කලාත්මක සදාචාර කේන්ද්‍රයක් බවට ද අරගලයේ හේතුඵලය පළමුව පාපැදියකින් පැමිණ පසුව මෝටර් බයිසිකලකයකින් පැමිණෙන ජයන්ත බවට ද ඌණනය වෙයි. අරගලය නියෝජනය ජනතා විමුක්ති පෙරමුණ පරිවාර චරිත බවට පත්කරයි. චිත්‍රපටය ඉතා සූක්ෂ්ම ලෙස පද්ධතිගත අරගලයක බල ව්‍යුහයේ නියෝජනයන් ලෙස රාජ්‍යයේ හෝ ජවිපෙ කේන්ද්‍රීය නියෝජනයක් චරිතායනය නොකරයි. ඒ වෙනුවට පාංශු චිත්‍රපටයම යනු අධෝව්‍යුහයේ අලකලංචියකි. උපරි ව්‍යුහයේ පද්ධතිගත හිංසනයට එරෙහි අරගලයක අධෝව්‍යුහ කාන්දුවන චරිත බබා නෝනා, කමල්, ලයනල් හා ජයන්ත ලෙස අපට අභිමුඛ වේ. චිත්‍රපටයට අනුව හිංසනය පිළිබඳ යුක්තියේ අරගලය ඇත්තේ ඔවුන් අතරය. උපරිව්‍යුහ පද්ධතිය ලෙස ඉතා සරලමතිකව චිත්‍රපටයේ හමුවන්නේ උසාවිය, පොලිසිය, පන්සල, කොමිසම වැනි ආයතන නියෝජනයන් පමණි. එවිට පද්ධතියේ හිංසනයට බබා නෝනාගේ ඊනියා අහිංසක විකල්ප ප්‍රතිචාරය අතහැරීමයි. සමාව දීමයි. බබා නෝනා වැව යට සඟවන්නේ වාස්තවික හිංසන රූපිකයක් ලෙස තුවක්කුවයි. බබා නෝනා මෙම සමාජ හිංසනයට හේතුව ලෙස දකින රූපිකය තුවක්කුවයි. නැතුව ධනවාදී පද්ධතිය තියා අවම වශයෙන් රාජ්‍ය හෝ නොවේ.
දැන් කලාත්මක ගැටලුවක් ශේෂ වේ. ඒ විසාකේස චිත්‍රපට කළයුත්තේ අරගලයේ පණිවිඩ සමාජයට ගෙනයන්නද? නැතිනම් ආත්මීය නිදහසේ බාධාවේ හේතුඵල සම්බන්ධය වෙනුවට අරගලයේ බාධාවේ හේතුඵල සම්බන්ධය නිරූපණයටද? කිසිසේත්ම නැත. එසේ වුවහොත් එය නියත වශයෙන්ම නැවතත් වෙනත් වටයකින් කලාව ඊනියා වාමාංශික ප්‍රචාරක වාදයකට ඌණනය වේ.
අනෙක් අතින් ගත්තම බබා නෝනා වැනි හීනකුල විඤ්ඤාණ තර්කණයකට උරුමකම් කියන ගැහැනියක් අරගලයට අවශ්‍ය ලෙස විප්ලවීය විය යුතුද? ඒත් නැත. අප විමසිය යුත්තේ බබා නෝනා සංකීර්ණ චිත්‍රපට ප්‍රකාශනයක් විය යුතුද යන්න නොව චිත්‍රපටය බබා නෝනා වූවේ මන්ද යන්නයි.
බොරු නොකියන ‘පාංශු’
ඛේදනීය ඉරණමකට මුහුණු දුන් බබා නෝනාගේ විමුක්ති කතාවට, බේදනීය සමාජ විමුක්ති අරගලයක සරලමතික පරිවාර චරිත ව්‍යුහයක් විසාකේසට අවශ්‍ය වන්නේ ඇයි? ලැකානියානු අර්ථයකින් අරගලයේ කලාත්මක හැඟවුම්කාරක ප්‍රාථමිකකරණයකින් චිත්‍රපටය මාතෘමය ආඛ්‍යානයක් ලෙස ප්‍රතිවිරෝධතා අතර වෙනස මැකීමෙන් පරිසමාප්ත වන්නේ ඇයි? නැතහොත් බබා නෝනාගේ නිෂ්ක්‍රීය ආධානග්‍රාහීත්වයට කිසිදු අතිරික්ත අර්ථයක් ඉතිරි නොවන්නේ ඇයි?
සමීපව චිත්‍රපටය නිරීක්ෂණය කළහොත් සමාජයීයව ඇය දුර්වල සේ පෙනුණ ද ක්‍රියාවෙන් ඈ ආධානග්‍රාහීය. බබා නෝනාගේ තීරණ තුළ අවම සාමූහිකත්වයක් හෝ නැත. හොඳට හෝ නරකට ඇය කරන්නේ ඇයට ඕන දේය. ඇය ඥාති පුතාට හෝ නීතිඥයාට හෝ වගකියන්නේ නැත. අවනත වන්නේ නැත. කතාබහ කොට තීරණ ගන්නේ නැත. ඇය තුළ වන නිහඬ ආධානග්‍රාහීත්වය යනුම පුද්ගලවාදයේ ගැඹුරුතම පැවැත්මයි. ඇයට සිය අරමුණ හැර කිසිවක් අදාළ නැත. නැවතත් අප මතක් කරගත යුත්තේ චිත්‍රපටයක චරිත අරගලයේ සදාචාරය ගත යුතු නැත. “ඒ තමා මිනිස්සු හැසිරෙන විදිහ.” අපි විමසිය යුත්තේ බබා නෝනාගේ ආධානග්‍රාහී පුද්ගලවාදය නොව, පාංශු චිත්‍රපටයේ ආධානග්‍රාහී පුද්ගලවාදයයි.
පාංශු චිත්‍රපටය මේ සඳහා හයියක් ගන්නේ සරලමතික ජනප්‍රිය බෞද්ධ උපමාවලිනි. ඒ පාංශුකරණය වූ සතර පෙරනිමිති දෘෂ්‍යමය ලෙස ද සංකල්පීයව ‘අතහැරීම‘ හෝ ‘සමාවදීමේ’ උපමාත්මකයන්ගෙන්ය. මීට ප්‍රතිපක්ෂව 89 නිරූපණය පත්‍රිකා බෙදීම හා මිනීමැරීමට ඌණනය කරන විසාකේස බබා නෝනාගේ පුද්ගලවාදයට හයියක් ගන්නේ අධිපති පාලක බෞද්ධ දෘෂ්ටිවාදයෙනි. චිත්‍රපටයේ පූර්ව භාගයේ ආත්මීය හිංසනයක් දරා සිටින බබා නෝනා ක්‍රමයෙන් ඇගේ අරගලය පද්ධතියට වෙනුවට ස්වයං විමුක්තියකට නාභිගත කරයි. කූටප්‍රාප්තියේ රාජ්‍යයේ නියෝජිතයා වූ පුතාව ඝාතනයට වගකිව යුතු ලයනල්ට සමාව දෙන ඇය පුතාව තේරුම් ගන්නේ පෙරේතයකු වී ඉපදී ඇත්තෙකු ලෙසය.
පද්ධතිගත හිංසනයට සමාව දී හෝ අතහැර දැමීමටත් අරගලය පෙරේතකරණයටත් විසාකේසට උනන්දුවක් ඇතිවන්නේ කෙසේද? පාලක පැළැන්තිය විසින් ලංකාවේ පහළ පාංතිකයන්ට අතහැර දැමීම, කරුමය, මේ ආත්මයට නොව ඊළඟ ආත්මයට වැඩකර ගැනීමට උගන්වන රාජ්‍ය දෘෂ්ටිවාදී උපකරණ යාන්ත්‍රණයම පාංශු විසින් යෝජනා කරන බබා නෝනා විමුක්තියයි. බැලූ බැල්මට ඇය රාජ්‍යයට හෝ අරගලයට හෝ කුලයේ අගතීන්ට හෝ සම්බන්ධයක් නැති බලුපැටවුන්ට, හතුරාට පවා දයානුකම්පාව පානා අහිංසකාවියකි. ඇය තුළම වූ ආත්මීය හිංසනය පවා චිත්‍රපටය අපර භාගයේදී අතහැර දමනා උපාසිකාවකි. විසාකේසගේ මෙම වෙසක් නාට්ටි තිර රචනය හුදු රාජ්‍ය දෘෂ්ටිවාදයට පක්ෂපාතී සදාචාරවාදයකට පමණක් අයත් කතා කලාවක්ද?
චිත්‍රපටය විසින් සංවිධානය කරන කලාත්මක දෘෂ්ටිවාදී යාන්ත්‍රණය ඊට වඩා සංකීර්ණය. බබා නෝනා තුවක්කුව රැගෙන ගොස් සඟවන්නේ වැවෙහිය. ගම දේශපාලන ආර්ථිකව සංවිධානය කිරීමේ ජාතිකවාදී රාජ්‍ය පද්ධතිය විකාශනයේ තීරණාත්මක රූපිකයක් ලෙස අපට වැව කියවිය හැක. බබා නෝනා තුවක්කුව සඟවන්නට තෝරාගන්නේ වැවයි. නැවතත් අපි මතක් කරගත යුත්තේ බබා නෝනා චරිතය විචාරාත්මක විය යුතු නැත. නමුත් බබා නෝනා හා චිත්‍රපට ආඛ්‍යානය අතර පරතරයක් ද පාංශු‘හි නොමැත. එවිට අපට වැටහී යන්නේ බබා නොනාගේ විඤ්ඤාණය හා නිර්මාණකරු ලෙස විසාකේසගේ විඤ්ඤාණය අතර ද පරතරයක් නොමැති බවයි. බබානෝනාගේ වාස්තවික හිංසන විරෝධී දෘෂ්ටිවාදය නිහඬව පද්ධතිගත හිංසනයක් (ධනවාදය) පවත්වාගෙන යාමට අවසර ලබා දෙයි. බබා නෝනාගේ පුද්ගලවාදී විමුක්ති මාර්ගය පද්ධතියේ හිංසනයක් හා සම්මුතිගත වෙයි. ඒ අර්ථයෙන් මෙවැනි චිත්‍රපට ආකෘතියක් කිසිදා බොරු නොකියයි. බබා නෝනලා සමාජයේ ඉන්නවා. ඔව්, ඇත්ත. එකම ගැටලුව ඔවුන්ගේ සත්‍ය ප්‍රකාශ කිරීමට තවත් සත්‍යක් වහන්නට සිද්ධවීමයි. හැබෑය, ඔබට සත්‍යයන් කිහිපයක් තෝරාගත නොහැක. ඔබගේ තෝරාගැනීම යනුම දෘෂ්ටිවාදී ආකෘතිය ආරම්භයයි.
චිත්‍රපටය ඒ අර්ථයෙන් දෘෂ්ටිවාදයෙන් නිදහස් (ideology free) බවක් අපට ඉඟි කරයි. බැලූ බැල්මට අරගලයටත් රාජ්‍යයටත් දෙකටම අනන්‍ය නොවන බබා නෝනලා යනු මේ පද්ධතිගත හිංසනයේ ජීවනාලියයි. අපි විමසිය යුත්තේ පද්ධතියට බබා නෝනලාව අවශ්‍යද නැතිනම් බබා නෝනලාට පද්ධතිය අවශ්‍යයද යන්නයි. පාංශු චිත්‍රපටයේ කිසිවක් වෙනස් කිරීමට යෝජනා කර පළක් නැත. වෙනස් කළයුත්තේ බබා නෝනලාවයි.
බූපති නලින් වික්‍රමගේ, උපුටා ගැනීම – රාවය