keheliya

කිසිදු පිළිකා නාශක ඖෂධයක් ඉහළ මිලක් යටතේ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් දී නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය.

එහි මිල ගණන් සම්බන්ධව සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත්තේ ද බදාදා (15) දිනයේ දී බවත් මේ වන තෙක් එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් හෙතෙම කීවේය.

අවම මිල ගණන් යටතේ පිළිකා ඖෂධ ලබා ගැනීමට හැකිව තිබිය දී ඉහළ මිල ගණන් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වූ වාර්තා සාවද්‍ය බවත් එය සම්පූර්ණයෙන්ම බැහැර කරන බවත් ඇමැතිවරයා කීවේය.

සෞඛ්‍ය සේවය පදනම් කරගනිමින් මෙවැනි සාවද්‍ය තොරතුරු පළ කිරීම ගැන කනගාටුව ප්‍රකාශ කර සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී ඇමැතිවරයා කියා සිටියේය. විදේශ සේවා අමාත්‍යාංශයෙන් මිලියන 500ක් ලබා දීමට ප්‍රතිපත්තිමය වශයෙන් ප්‍රකාශ කර තිබුණ ද ඉන් ලැබී ඇත්තේ මිලියන 100ක් පමණක් බව රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

පිළිකා ඖෂධ මිල ගණන් සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලබන්නේ විගණකාධිපතිවරයාගේ නියෝජිතයෙක්, භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් සහ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සමන්විත කමිටුවකින් බව ඇමැතිවරයා පැවැසීය.

ඇතැම් ආයතනවල සමහර පිරිස් මාධ්‍ය අංශ සමඟ යම් යම් සම්බන්ධකම් මත ඔවුන්ට ඕන දේ පළකරවා ගැනීමට උත්සාහ කරන බවත් මෙම පළ කිරීමද එවැන්නක් බවත් ඒ මහතා කීවේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාද අදහස් දැක්විය. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහත්වරුන් ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

More Stories