පොල්වතුර අපනයනයෙන් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ රුපියල් මිලියන 3,439ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. පසුගිය වසරේ (2023) පෙබරවාරි මාසය තුළ ද පොල්වතුර අපනයනය කිරීම මඟින් රුපියල් මිලියන 2,705ක් උපයා ගැනීමට හැකිවූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය වනවිට රුපියල් මිලියන 734කින් අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසයි.
ඊයේ (25) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය. වනසත්ත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මෙයට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවත්, එමඟින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බවත් ඇමැති අමරවීර මහතා මෙහිදී පෙන්වා දී ඇත.