bus

මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ.

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ත් ඔහු සඳහන් කර ඇත.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය පිළිබඳ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ඊයේ (9) පස්වරුවේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී දුම්රිය හා බස් රථ සඳහා අඛණ්ඩව තෙල් සැපයීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡාවට ලක් කර තිබේ.

ගමනාගමන මණ්ඩලයට අයත් ඉන්ධන හල් මගින් රාත්‍රී කාලයේ පුද්ගලික බස් රථ සඳහා ඉන්ධන සැපයීමට පියවර ගැනීමට ද එහිදී තීරණය වී ඇත.

Park & Drive ක්‍රමය ව්‍යාප්ත කිරීමටත් ඒ සඳහා රථවාහන ගාල් කිරීමේ දී අයකරන ගාස්තු අඩු කිරීමට ත් තීරණය කර ඇති අතර තෝරාගත් දුම්රිය ස්ථාන ආසන්නයේ රථවාහන ගාල් කිරීමේ පහසුකම් සැලසීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

ලංගම සහ පෞද්ගලික බස්රථ සඳහා දැනට ක්‍රියාත්මක ඒකාබද්ධ කාලසටහන් ක්‍රමය කෙටි ධාවනය සඳහා යොදාගැනීමට ත් එහිදී යෝජනා කර ඇත. කාර්යාල සේවය ඉලක්ක කරගනිමින් නව දුම්රිය ගමන් වාර ඇරඹීමට සහ දැනට ධාවනය කෙරෙන දුම්රිය සඳහා මැදිරි සංඛ්‍යාව වැඩි කිරීමට ත් පියවර ගැනීමට ද එහිදී තීරණය වී තිබේ.

ලංගම සේවක වැටුප් ගැටලුව විසඳීමට එකඟතාව පළ වූ අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නුදුරේ දීම ඉදිරිපත් කිරීමට ද තීරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත ඉඩම් ආහාර භෝග වගා සඳහා වසරක කාලයකට බදු දීමට සැලසුම් කර ඇති අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ගොවි සමිති සඳහා ඉතා සුළු බදු මුදලක් යටතේ අදාළ ඉඩම් ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී ප්‍රකාශ කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, අමාත්‍යංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි යන මහත්වරු, රේඛීය ආයතන ප්‍රධානීන්, පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිට ඇත.

More Stories