හක්මණ කෝංගල ප්‍රදේශයේ මාර්ග බාධක රාජකාරියේ නියුතුව සිටි හක්මණ පොලීසියේ පොලිස් නිළධාරීන් තිදෙනෙකු යට කොට පලා ගිය ටිපර් රථය අද (14) පෙරවරුවේදී හුංගම පොලිස් වසමේ කට්ටකඩුව ප්‍රදේශයේ නිවසක් ආසන්නයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයා  ගෙන තිබේ.

පොලීසියට ලැබුනු ක්ෂණික තොරතුරකට අනුව බස් රථයකින් පලා යමින් සිටි ටිපර් රථයේ රියදුරුද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම අනතුරෙන්  පොලිස් කොස්තාපල් වරයෙකු මිය ගිය අතර තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ.ඉන් එක් අයෙකු ගේ තත්වය බරපතල බවත් ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලිසීය  පවසයි.

ඊයේ(13)  රාත්‍රී 11.45 ට පමණ මෙම අනතුරු වී ඇතැයි පොලීසිය පවසයි.මාර්ග බාධකයේ සිටි පොලිස් නිළධාරීන් තිදෙනා අනතුර සිදු කළ ටිපර් රථය නවත්වා රියදුරුගේ රියදුරු බලපත්‍රය පොලිස් බාරයට ගෙන තිබේ. ඊට උරුණ වූ රියදුරු පොලිස් නිළධාරීන් යටකර යන බව පවසා ටිපර් රථයෙන් පිටව ගොස් තිබේ.ඊට සුළු වේලාවකට පසු නැවත පැමිණ ඇති ටිපර් රථය පොලිස් නිළධාරීන් තිදෙනා යට කොට පලා ගොස් ඇති බවට පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වලස්මුල්ල වාව්ව ප්‍රදේශයේ පදිංචි 36 වැනි වියේ පසුවූ දෙදෙරු පියෙකුවූ මාලිත විතාරණ යන අයයි.. ටිපර් රථයේ රියදුරු හුංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලීිසය වැඩි දුරු පරීක්ෂණ සිදු කරනු ලබයි.

චන්ද්‍රසේන ගමගේ

Similar Posts