වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹ නාගරික රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රථ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී වැලිකඩ දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ග සෝදිසි රාජකාරියේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පරීක්ෂා කිරීමක් සඳහා නතර කර තිබූ කුඩා ලොරි රථයක රියදුරු වරයෙක් යටකර අනතුරකට ලක් කරමින් පළා ගිය මෝටර් රථය සහ එය පැදවූ රියැදුරු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පැවසීය.
අනතුරේදී තුවාල ලැබූ පොලිස් නිලධාරියා සහ ලොරි රථයේ රියදුරු වරයා හදිසි ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුල් කළ බවත් රෝහලට ඇතුළත් කරන විටත් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව සිටි බව රෝහලේ වෛද්‍යවරුන් පැවසූ බවද පොලීසිය පැවසීය.
සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ කොළඹ නාගරික රථවාහන කොට්ඨාසයට අනියුක්තව රාජකාරි කරමින් සිටි උප පොලිස් පරීක්ෂක ප්‍රියංකර නැමැති නිලධාරියෙක් හා සෙත්සිරි පෙදෙස, කුඩ මාදූව, මත්තෙගොඩ ලිපිනයෙහි පදිංචි නුවන් බුද්ධික නමැති පුද්ගලයෙක් බවත් පොලිසිය පැවසීය.
පොලිස් නිලධාරින් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ලොරි රථයක් නවතා එහි රියැදුරුවරයා සතු බලපත්‍ර හා වාහනය පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ උප පොලිස් පරීක්ෂකවරයා ලොරි රථයේ පිටුපස පරික්ෂා කිරීම සඳහා රියදුරු වරයා සමග පිටුපසට ගමන් කරමින් සිටියදී අධික වේගයෙන් පැමිණි කේ.ඩී.එච් වර්ගයේ සුඛෝපභෝගී වෑන් රථය පොලිස් නිලධාරියා සහ කුඩා ලොරි රථයේ රියැදුරුවරයා යටකරමින් මීටර්100ක් පමණ දුර ගොස් නවතා ඉන්පසු පළාගොස් ඇති බවත් පසුව ප්‍රදේශවාසීන් හා පොලිස් නිළධාරීන් විසින් වෑන් රථය ලුහුබැද රියදුරු වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
වෑන් රථය පැදවූ රියැදුරු බීමත්ව සිටියේ ද නැතහොත් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදු වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් පොලීසිය පැවසීය.
අනතුර සිදු කළ රියදුරුවරයා මාදිවෙල පාර තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකළ බවත් මෙම රථය මාදිවෙල ප්‍රදේශයේ පිහිටි අවන්හලකට අයත් එකක් බවත් පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණයේදී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.
වෑන් රථයේ රියදුරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය මත වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහේෂ් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව