ඉතාම කටුක ජීවිතයක් ගත කරන අපට තිබහට බොන වතුර ටිකත් කළුනික හොයනවා වගේ වුණේ පෙර කල අකුසල කර්මයක් පලදීමෙන් දෝයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරමඩුව ගම්මානයේ වැසියන් ප්‍රශ්ණ කරයි.
පවුල 300 කට ආසන්න 1000 ක් පමණ ජනතාවක් මෙහි වාසය කරති. එම ගම්මානයට ස්ථීර ජලනල පද්ධතියක් ද ස්ථාපිත කර තිබුණද මේ දිනවල බීමටවත් ජලය බිඳක් නොමැතිව ඔවුන් අපා දුකකට පත්වී ඇත. නළ පද්ධතියෙන් නිසි ලෙස ජලය නොපැමිණීම මෙයට හේතුවයි.
ගම්වැසියෙකු වන නිර්මලා ප්‍රියදර්ශණී මහත්මිය අප සමග මෙසේ කියා සිටියා.”සතියකට එක වතාවක් විතරයි වතුර එන්නේ. ඒකටත් නියමිත වේලාවක් නෑ. රෑ දවල් දෙකේම මුර කරනවා වතුර බට ලඟ. එදාට වෙන කිසිම වැඩකට යන්න වෙන්නෙ නෑ.රාත්‍රී කාලයට වතුර ආවොත් අලිත් එක්කත් හැප්පෙන්න වෙනවා. අපේ ගමට අලි එන්නේ රංචු පිටින් අවුරුද්දට නෑයො එනව වගේ. කොයි වෙලාවක හරි ඔය රංචුවකට අහුවුණොත් නම් ඉවරයි.”
ගොවිතැනින් ජීවත්වන ජයසේකර මහතාමෙසේ කීය.” මේ පෑවිල්ලත් එක්ක වතුර නැතිව අපි ලොකු දුකකට පත්වෙලා.හේනේ පිටියේ වැඩ කරලා තිබහට බොන්නේ බෙහෙත් ටැංකි හෝදන, හරක් ලගින මඩ වතුර තමයි .මේ දවස් වල අපි බොන්න නාන්න ප්‍රයෝජනයට ගන්නේ පොඩි ඇල මාර්ගයකින් යන මඩ වතුර. දරුවන්ට හැම තිස්සෙම බඩේ අමාරුවට බෙහෙත් ගන්නවා. ඒ මදිවට නොනාත් බෑ නාලත් බෑ. මේ ජරා වතුර නාලා ළමයි හැමෝටම කුෂ්ඨ හැදිලා. අනේ අපේ මේ දුක ගැන බලධාරින් ට දැනුවත් කරලා පිහිටක් වෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.”

නිර්මලා

ජයසේකර

සුමිත්‍රා කුමාරිහාමි

Similar Posts