ඉරිදා(12) මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට පෞද්ගිල්ක බස් රථ සංගම් විසින් ගෙන තිබූ තීරණය, 11 දින මගී කළමණාකාරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග කළ සාකච්ඡාවකින් අනතුරුව සතියකින් කල් දැමීමට පෞද්ගලික ප්‍රවාහන සංගම් නියෝජිතයෝ තීරණය කළහ.

අගුණකොළපෑලස්සේ පිහිටි ඇමතිවරයාගේ නිවසේදී මෙම සාකච්ඡාව පැවති අතර ඒ සදහා පෞද්ගලික බස් සංගම් 05 ක් නියෝජනය කරමින් සාමාජිකයින් 35 දෙනෙකු පමණ සහභාගි වී සිටියහ.

පැයකට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ධාවනයෙන් ඉවත් වීමට බස් රථ සංගම් ගෙන තිබූ තීරණය සතියකින් කල් දැමීමට බස් රථ සංගම් එකග වූයේ  සාකච්ඡා මාර්ගයෙන් තමන් ගේ ගැටළු විසදා ගැනීමට තමන් වඩා කැමති බව පවසමින්ය.



බස් රථ සංගම් නියෝජිතයින් සමග කළ සාකච්ඡාවකින් අනතුරුව මගී ප්‍රවාහන කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලේ. බස් රථ සංගම් වල ඉල්ලීම් ඉතා සාධාරණ බවයි.එහෙත් රටේ පවතින ආර්ථික තත්වය හමුවේ ඔවුන් ගේ ඉල්ලීම් සියල්ල එකවර ලබා දීමේ ගැටළුවක් පවතින බවද ඇමතිවරයා පැවසීය.

විශේෂයෙන්ම ආසන මට්ටමට මගීන් ගෙනයාම සදහා අර්ධ සුඛෝපභෝගී බස් රථ වල අයකරනු ලබන ගාස්තුවට සමාන ගාස්තුවක් අයකිරීමට බස් රථ සංගම් කරනු ලබන ඉල්ලීම මේ මොහොතේ සිදු කළ නොහැකි බවද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මේ මොහොතේ බස් රථ වල ගාස්තු වාඩි කිරීමක් බස් රථ හිමියන් බලා පොරොත්තු වෙනවා. එය සලකා බැලීම සදහා මේ අවස්ථාව සුදුසු කාලයක් කියල මම හිතන්නේ නෑ.කොරෝනා වසංගත තත්වය හමුවෙන් පස්සෙ මේ රටේ ජනතාව ආර්ථික වශයෙන් ඉතා පහළ මට්ටමක සිටින්නේ. ඒ අයට තවත් බර පටවන්න රජයට පුළුවන් කමක් නෑ. නමුත් බස් රථ සංගම් ඉල්ලනු ලබන අනෙකුත් සහන ලබා දීම සදහා රජයේ අවධානය යොමු කරන්න මම බලා පොරොත්තු වෙනවා.

බස් රථ සංගම් විසින් 12 දින  මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණය වෙනස් කරන ලෙසට මම ඉල්ලීමක් කරනවා.ලබන බදාදා දින මම බස් සංගම්වල ඉල්ලීම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ජනාධිපති තුමාගේ අවධානය යොමු කරන්න බලා පොරොත්තු වෙනවා.



විශේෂයෙන්ම බස් රථ හිමියන් සදහා මුල්‍ය ආයතන විසින් ලබා දිය යුතු සහන ඔවුන්ට නොලැබුණු බව ඔවුන් විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ ගැන දැඩි අවධානය යොමු කරන්න මම බලා පොරොත්තු වෙනවා.පෞද්ගලික බස් හිමියන් කරනු ලබන සේවය අති විශාලයි. ඔවුන් ගේ සේවය අවතක්සේරු කරන්න අප කටයුතු කරන්නේ නෑ.

සමස්ත ලංකා බස් හිමියන් ගේ සංගමයේ අධ්‍යක්ෂක සම්පත් ගුණතිලක මහතා පවසා සිටියේ බස් කර්මාන්තය තව දුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බවයි.

ඇමතිතුමා වරදවා වටහා ගන්න එපා . අපි මේ සිදු කරන්න හදන්නේ බස් වර්ජනයක් නොවෙයි.අපට මේ කර්මාන්තය කරගෙන යන්න බැරි තත්වයටම වැටිලා . ඒ නිසා කරගෙන යන්නම බැරි නිසා අපි බස් රථ ධාවනයෙන් ඉවත්වෙනවා.අප මේ සිදු කරන්නේ කඩාගෙන වැටී ඇති බස් රථ කර්මාන්තය නගා සිටුවීම සදහා  යම් යම් ක්‍රියා මාර්ග ගැනීම පමණයි.

දැන් බස් එකට ඩීසල් ගහ ගන්නෙත් ඉතා අමාරුවෙන් මාස ගණනකින් අපේ බස් රථ නඩත්තු කළේ නෑ. එහෙම කර ගන්න  අපිට  ආර්ථික හයියක් නෑ..ඉදිරියේදී ආසන ගණනට පමණයි මගීන් රැගෙන යන්න වෙන්නේ.



දැන් තියෙන තත්වය අනුව මගීන්ට හිටගෙන යන්න කොහෙත්ම ඉඩ ලැබෙන එකක් නෑ. අපි බස් ගාස්තු වල වැඩි වීමක් ඉල්ලන්නේ තාවකාලකවයි. මේ කර්මාන්තය පවත්වාගෙන යන්න වෙන ක්‍රමයක් නෑ. නැත්නම් මේ අස්ථාවේ අපි බස් රථ ධාවනයෙන් ඉවත්ව වීමට කටයුතු කරන්නේ නෑ.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතාද අදහස් දැක්වීය. ඔහු පවසා සිටියේ රජය විසින් පෞද්ගලික බස් රථ හිමියන් සදහා කිසිදු සහනයක් ලබා දීමට කටයුතු නොකළ බවයි. රජය ප්‍රකාශ කළ සමහර තීන්දු මේ වන තෙක් බිමේ ක්‍රියාත්මක නොවූ බවද ඔහු පැවසීය.

මේ වන විට දෛනිකව බස් ධාවනයෙන් ලැබෙන ආදායම සියයට 50 න් පමණ අඩු වෙලා.අපිව නියාමනය කරන ආයතන , මධ්‍යම ආණ්ඩුව අපි ගැන සොයා බැලීමක් කරන්නේ නෑ.අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය සදහා මාර්ග බලපත්‍ර ලබා දීමෙන්  බස්නාහිර පළාත් සභාව රුපියල් මිලියන ගණන් උපයා ගත්තා. සමහර මාර්ග බලපත්‍ර ලබා දීමට බස්නාහිර පළාත් සභාව රුපියල් එක්කොටි හැටපන් ලක්ෂය  අය කළා.

රුපියල් දෙකෝටි පහලොස් ලක්ෂය බැගින් අරගෙන මාර්ග බලපත්‍ර දුන්නා.  ඒ මුදල් වලට මොකක්ද වුනේ ? අඩුම වශයෙන් මේ අමාරු කාලයේ බස් රථ හිමියන්ට බස් සේවකයින්ට කෑම පැකට් එකක් ලබා දෙන්නවත් බස්නාහිර පළාත් සභාව කටයුතු කළේ නෑ. දකුණු පළාත් සභාව දකුණු පලාතේ බස් රථ සේවකයින් සදහා යම් සහනයක් ලබා දී තිබෙනවා. අපි එය අගය කළ යුතුයි. නමුත් බස්නාහිර පළාත් සබාව කිසිදු දෙයක් කළේ නෑ.



අපි බස් සංගම් වශයෙන් කිවුවත් නොකිවුවත් යම් සහනයක් බස් හිමියන්ට නොදුන්නොත් බස් රථ ටික ඉබේම නැවතිලා යාවි . එහෙම අගාධයකට මේ රටේ බස් රථ කර්මාන්තය වැටී තිබෙනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන් ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගිලක බස් හිමියන් ගේ සංගමය,අන්තර් පළාත් බස් හිමියන් ගේ සංගමය,පොදුජන පෙරමුණ බස් හිමියන් ගේ සංගමය හා දකුණු පළාත් පෞද්ගලික බස් හිමියන් ගේ සංගමයේ  නියෝජිත වරු අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට එක්වී සිටියහ.

චන්ද්‍රසේන ගමගේ

More Stories