2018 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගෝණගංආර නිවාස ආධාර ගම්මානයේ ජනතාවට විදුලිය හා පානීය ජල පහසුකම් නොමැතිව දැඩි ලෙස අසරණ වී සිටිති.

ඉකුත් ආණ්ඩුව පැවති සමයේ ග්‍රාමශක්ති නිවාස ආධාර ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යපෘතිය නව ගම්මානයක් ලෙස ආරම්භ වූ අතර 2018 වසරේ අගොස්තු මස මෙම නව ගම්මානයේ නිවාස 25ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබන ලද්දේ එවකට හිටපු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසිනි.

ආධාර ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීම් ඇරඹූ මෙම ගම්මානයේ නිවාස 25ක් සඳහා මූල්‍ය ආධාර කොටස් වශයෙන් ලැබුණ ද නිවෙස්වල වැඩ යම් ප්‍රමාණයකින් හෝ අවසන් කර දැනට පදිංචිව ඇත්තේ පවුල 11ක් පමණි.

පානීය ජලය හා විදුලි පහසුකම් නැතිව වසර දෙකකට අධික කාලයක් දැඩි ලෙස අසරණ වී සිටින ගම්වාසීහු පානීය ජලය හා විදුලිබලය තම ගම්මානවට දෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති

ගම්වැසියකු වන කේ. ජී. සුමිත් කුමාර මහතා,

“මේ ගමේ ජනතාව බොහොම දුකින් ජීවත් වෙන්නේ. ලයිට් නෑ. වතුර නෑ. රෑ වෙනකොට අලි ගමට එනවා. දරුවන්ට පාඩම් කරගන්න පොතක් කියවන්න එළියක් නෑ.

කුප්පි ලාම්පුවෙන් තමයි ඔක්කොම වැඩ ටික කරගන්න වෙලා තියෙන්නේ.

මේ ගමට ලයිට් වතුර දෙනව නම් ඊට වැඩිය පිනක් මේ මිහිපිට නෑ. ජනාධිපතිතුමාගෙන් අපි ඉල්න්නේ මේ ගමට විදුලිය දෙන්න කියලා.”

පාසල් සිසුවියක් වන කේ. ජී. පවිත්‍රා හංසමාලි,

“අපේ ගමේ පාසල් යන ළමයි ගොඩක් ඉන්නවා. අපි පාඩම් කරන්නේ කුප්පු ලාම්පුවෙන්. සමහර වෙලාවට ලාප්පු පෙරලිලා අනතුරු පවා වුණු අවස්ථා තියෙනවා.

අපිට ලාම්පු එළියෙන් පාඩම් වැඩ කරන්න අමාරුයි. වතුර නැති නිසා තවත් අපහසුයි.

නාන්න රෙදි හෝදන්න ගඟට ගොඩක් දුර යන්න ඕනේ. අපිට විදුලිබලය දෙන්න පුළුවන්නම් ලොකු පිනක්.”

මෙම ගම්වාසීහු විදුලිබලය හා පානීය ජල ගැටලුව විසඳා දෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

Similar Posts