මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි අනුරගම ,පාරගම , සිංහාරගම , මයිලපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත‍්‍රීයේ භූමියේ කම්පන තත්ත්වයක් ඇතිවී තිබෙන බවට වාර්තා පළ වුණා.

ඊයේ රාතී‍්‍ර 08.30 ට පමණ කම්පන තත්ත්වය ඇතිවූ බවයි එම ප‍්‍රදේශවාසීන් සඳහන් කළේ. කෙසේවෙතත්, මෙම සිදුවීම භුචලනයක් නොවන බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු සඳහන් කළා.

මහනුවර, පල්ලෙකැලේ ප‍්‍රදේශයේ පිහිටි භූචලන මාපකයේ පමණක් යම් සංඥාවක් සටහන්ව ඇති බවත්, එහෙත් එම චලනය ස්වභාවික සංසිද්ධියක් නොවන බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක කිසියම් භූ චලනයක් සිදුව ඇත්ද යන්න පරික්ෂා කිරීමට නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශවලට යවා ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය පවසනවා.

 

More Stories