mithree

මෙවර මහා මැතිවරණයෙන්  වත්මන් රජය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 5න් 4ක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (05) පොලොන්නරුව නව නගරය ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේ දී සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

සිය ඡන්දය ප්‍රකාශ කිරීම සදහා හිටපු ජනාධිපතිවරයා සුභ මොහොතින් විහාරස්ථානයට පැමිණ මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත ගිය අතර මෙවර ඡන්ද මධ්‍යස්ථාන පරිශ්‍රයට මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට අවසර නොලැබීමද විශේෂත්වයකි.සිය ඡන්දය පාවිච්චි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“අපේ රටේ මහා මැතිවරණ ඉතිහාසය ගත්තාම විශාල වශයෙන් ගැ‍ටුම් ඇති වෙනවා.ගෙවල් ගිණි  තියනවා,වාහනවලට ගහනවා,වෙඩි තියනවා,මිනිස්සු මරනවා,අතපය කඩනවා.නමුත් මෙවර මැතිවරණය ඉතාම  සාමකාමියි.රටෙ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය නිදහස ඉතාම හොදින් භුක්ති විදිනවා.

ඒක නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තුවන රටේ ජනතාව ,මැතිවරණ කොමිෂන් සභාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලාපොරොත්තුවන දේ රටේ ජනතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සර්ව ජන ඡන්ද බලය ලැබී ඇති දේ ජනතාව ඉතාමත් හොදින් භුක්තිවිදිනවා.

අද එක්කොටටි හැට දෙලක්ෂයකට වැඩි ජනතාවක් සිය ඡන්දය පාවිච්චි කරනවා.ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ම රටක් අපේ රට.මීට මාස අටකට පමණ කලින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා ඒ විදිහටම.රටේ ජනතාව සිය ඡන්දය පාවිච්චි කිරීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විදිනවා.එවන් සාමකාමි ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් හා සාධාරණ මැතිවරණයක් තුළ අපි රජය ඉතාමත්ම විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

විපක්ෂයක් නැති මැතිවරණයක් මේක .මේතරම් විපක්ෂය දුර්වල වෙච්ච මැතිවරණයක් ඉතිහාසයේම දැක්කෙ නෑ.ඒ නිසා විපක්ෂයක් නැතුව මේ මැතිවරණය පැවැත්වීම නිසා රටේ ජනතාවගේ සහයෝගය ආණ්ඩුවට පොහොට්‍ටුවට පොදු ජන පෙරමුණට ලැබුණා.ඒක නිසා අද තිබෙන ප්‍රශ්න විසදා ගැනීම සදහා ඡන්දය පාවිච්චි කළා.මේ සදහා රටේ ජනතාවත් විශේෂයෙන් ම පොලොන්නරුවේ ජනතාවට මැතිවරණ කොමිසමට,පොලිසියට රාජ්‍ය නිලධාරින්ට ස්තුතිවන්ත වෙනවා.

සාධාරණ හා නිසදහස් මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ සැලසීම ගැන.පොලොන්නරුව දිස්ත්‍රික්කය වශයෙන් ගත්තොත් මන්ත්‍රී ආසන 5න් 4ක් ම පොහොට්‍ටුවට පොදුජන පෙරමුණට හිමි වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව.”පින්තූරවල දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අන්දමයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories