රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් යානයකට කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාම කොළඹ වානිජ මහාධිකරණය මගින් අත්හිටුවා නියෝගයක් ලබා දීම නිසා මෙම ගුවන් යානය අද (2) දහවල් සිට කටුනායක ගුවන් තොටුපළ තුළ නවතා දමා තිබේ .

අයර්ලන්තයේ පිහිටි සෙලෙස්ටියල් ඒවියේෂන් ට්‍රේඩිං ලිමිටඩ් නමැති සමාගම විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මහතා විසින් වග උත්තරකාර රුසියානු ගුවන් සමාගම වෙත මෙම වාරණ නියෝගය නිකුත් කළා.

මෙම වාරණ නියෝගය ලබන 16 වන දක්වා බලපැවැත්වෙන බව ද එම නියෝගයේ සඳහන් වුණා.

පැමිණිලිකාර සමාගම සඳහන් කරන්නේ වගඋත්තරකාර රුසියානු ගුවන් සමාගම සමග තමන්ගේ බේරුම්කරණ නඩුවක් පවතින බවයි. එබැවින් වගඋත්තරකාර ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙන් ඉවත් වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පැමිණිලිකාර සමාගම අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් එම වාරණ නියෝගය නිකුත් කර තිබෙනවා.

මේ වනවිට මෙම ගැටළුව නිරාකරණය කර ගැනීම පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ඇතුළු උසස් නිලධාරීන් , එරොෆ්ලොට් ගුවන් සේවයේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් පිරිසක් ද සාකච්ඡා පවත්වමින් සිටින බව කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

More Stories