පසුගිය දා ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත්කල නිවේදනයක සදහන් වුයේ පූජ්‍ය අතුරලියේ රතන හිමි, බද්දේගම සමිත හිමි,  ආචාර්ය පූජ්‍ය කෙරදේවල පුඤ්ඤරත හිමි, පූජ්‍ය බලංගොඩ බුද්ධඝෝෂ හිමියන් ඇතුලු හිමිරැ ගණනාවක් හා රදගුරැ රේමන් වික්‍රමසිංහ අතුලු පියවරැන් කිහිප දෙනෙකු විසින් කළ ඉල්ලීම් ද සලකා රාජගිරිය, රෝයල් පාර්ක් ඝාතන සිද්ධියට අදාලව ජිවිතාන්තය දක්වා සිර දඩුවම් ලබමින් සිටි ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ නිදහස් කළ බවය.

ඒම නිවේදනය සම්බන්ධව තම කණගාටුව ප්‍රකාශ ගාලූ පදවිය රදගුරු රේමන් වික‍්‍රමසිංහ පියතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, රෝයල් පාර්ක් මිනී මැරුමට සම්බන්ධ අපරාධකරැ වූ ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ හට ජනාධිපති සමාව පිරිනමන ලෙස තමා කිසිදු ආයාචනයක් සිදු නොකළ බවයි.

මේ සම්බන්ධ රදගුරු රේමන් වික‍්‍රමසිංහ පියතුමා විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වේ ,

ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් රෝයල් පාර්ක් මිනී මැරුම සම්බන්ධව ඊට අදාළ චූදිතයා වන ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ හට ලබාදුන් ජනාධිපති සමාව පිළිබඳව ආගමික නායකයන්, සිවිල් සමාජ කි‍්‍රයාකාරීන් හා විවිධ සංවිධාන එක්ව ජනාධිපති සමාව පිරිනමන ලෙස ආයාචනා කළ ප‍්‍රවෘත්තියේ මා ලිඛිතව ඉල්ලීමක් කළ බවට එහි සඳහන් කර ඇත.

ඉහත නම සඳහන් චූදිතයා සම්බන්ධව මා ජනාධිපතිතුමා හට හෝ ගරු අධිකරණය වෙත කිසිදු ආයාචනයක් නොකළ බවට තරයේ ප‍්‍රකාශ කර සිටිමි. මෙහි සඳහන් නඩුව පිළිබඳව කිසිදු අධ්‍යයනයක් නොකළ බවටත් එකී චූදිතයා මා පෞද්ගලිකව නොහඳුනන බවද ප‍්‍රකාශ කර සිටිමි.

එහෙත් මීට වසර කිහිපයකට පෙර ගෞරවණීය මහා සංඝරත්නය හා සිවිල් සමාජයීය කි‍්‍රයාකාරීන් විසින් මාගෙන් ඉල්ලා සිටියේ සිරකරුවන්, විශේෂයෙන් තරුණ රැුඳවියන් හට වඩාත් යහපත් පරිසරයක් තුළ පුනරුත්ථාපනය හා නිසි අධ්‍යාපනයක් ලබාදෙන මෙන් ජනාධිපතිතුමා හට ලිඛිත ඉල්ලීමක් කරන ලෙසය. එය එසේ සිදුකළ අතර ඉදිරියේදී ද රැුඳවියන් වෙනුවෙන් අවශ්‍ය සෑම අවස්ථාවකදීම සාධාරණව හා යුක්ති සහගත ලෙස මැදිහත් වීමට ද බලාපොරොත්තු වෙමි.

අපගේ පොදු ඉල්ලීම මෙම අවස්ථාවේදී අයුතු ලෙස උලූප්පා දැක්වීම පිළිබඳව මාගේ බලවත් අප‍්‍රසාදය ප‍්‍රකාශ කර සිටිමි. කතෝලික සභාවට ද ගාල්ල රදගුරු පදවියට ද පෞද්ගලිකව මා හට ද සිදුවුණු අපහසුතාව හා කැළල පිළිබඳව වගකීම, මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බලධාරීන් විසින් භාරගෙන ඉක්මනින් නිවරදි කිරීමක් සිදුකරනු ඇතැයි අපේක්‍ෂා කරමි.

More Stories