වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි.

එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ දැමීම, විදුලි බිල වැඩි කිරීම, රාජ්‍ය සේවක ගැටලු ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව ගනු ලබන වෘත්තිය ක්‍රියාමාර්ග මෙම සතිය තුළ තවදුරටත් තීව්‍ර කිරීමට වෘත්තීයවේදින්ගේ වෘත්තිය සමිති එකමුතුව පසුගියදා තීරණය කළේය.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග, ක්ෂේත්‍ර රැසක කොටස් වශයෙන් පසුගිය සතිය තුළ ක්‍රියාත්මක වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට එක්වුයේ නැත.

කෙසේවෙතත් අද සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මෙම විරෝධතා සහ වර්ජන ක්‍රියාමාර්ග වෙත සම්බන්ධ වීමට නියමිතව තිබේ.

තම ගැටලුවලට රජය නිසි ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ලබන 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ සඳහන් කළේය.

More Stories