වතුකම්කරුවන්ට තැපැල් ලිපිනයක් ලබා දීමේ කටයුතුවලට අදාළ සැලසුම් මේ වන විට සකස් කර තිබෙන අතර එය අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
තමන්ට තැපැල් ලිපිනයක් ලබා දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මාවතගම ප්‍රදේශයේ පදිංචි වතු පදිංචිකරුවෙකු වන ජීවරත්නම් සුරේෂ් කුමාර් සිය නීතිඥ ලක්ෂාන් ඩයස් මාර්ගයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළේ.
මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගාමිණි අමරසේකර සහ ඒ. එච්. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ වතුකම්කරුවන්ට තැපැල් ලිපින ලබාදීමේ කටයුතුවලට අදාළ සැලසුම් සකස් කිරීමේ ක්‍රියාවලිය තැපැල් දෙපාර්තමේන්තුව සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව බොහෝ දුරට අවසන් කර ඇති බවයි.
පෙත්සම යළිත් දෙසැම්බර් මස 4 වන දා යළි කැඳවන ලෙස නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසටයි නීතිපතිවරයාට නියෝග කළේ.