විදුලි බල ක්ෂේත්රයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ඉලක්ක කරගෙන සැකැසූ විදුලි බල පනත් කෙටුම්පතට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ගැසට් නිවේදනයේ සඳහන් පනත් කෙටුම්පතේ බරපතළ දෝෂ ගණනාවක් තිබීම මුල් කරගෙන මෙම විරෝධය එල්ල වී ඇත.
විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, වෙළෙඳාම් කිරීම, සැපයීම හා ප්‍රසම්පාදනය කිරීම සමාගම් පනත යටතේ ලියාපදිංචි කරන සමාගම් යටතට වෙන වෙනම පත්කිරීමට මෙමගින් යෝජිත ය.
මීට අමතරව, විදුලිබල ක්ෂේත්රය නියාමනය හා බලපත්‍ර ලබා දීම ඇතුළු කරුණු සඳහා ආයතන ස්ථාපනය කිරීම ද මෙහිදී යෝජනා වී තිබේ. අදාළ ගැසට්ටුව නිකුත් කෙරුණේ ඊයේ (දෙසැ. 8) වුවත් එහි දාතමය යොදා තිබෙන්නේ 5 වන දා යනුවෙනි.
මෙමගින් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයෙහි අභියෝගයට ලක්කිරීමට ඇති කාලසීමාව සීමා කිරීමක් වන අතර ගැසට්ටුවේ සිංහල භාෂා පිටපතේ ඇති බරපතළ මුද්‍රණ දෝෂ පාර්ලිමේන්තුවේදී ද දැඩි විවේචනයට ලක්විණි. භාෂා ගැටලුවක් මතු වූ විට අදාළ වන්නේ සිංහල පිටපත වන නෛතික පසුබිමක මෙම තත්ත්වය උභතෝකෝටික ගැටලුවකි.
මේ ගැන අදහස් පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවේ, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කිරීමට ඇති කාලසීමාව වනවිට අධිකරණය නිවාඩු දී ඇති බවයි.
කිසිදු වෘත්තීය සමිතියක්, පාරිභෝගික සමිතියක් සමඟ සාකච්ඡා නොකොට කිසිදු උපදේශනයකින් තොරව සාලිය වික්‍රමසූරිය හා තිලාන් විජේසිංහ මහත්වරුන් සිය පෞද්ගලක වැඩපිළිවෙළක් හැටියට කළ වැඩක් හැටියට කෙටුම්පත හැඳින්වූ හෙතෙම, අධිකරණය ලබන 15 වන දා නිවාඩු ලබාදෙන බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධිකරණයට යාමට ඇති කාලය මෙන්ම එය අධ්‍යයනයට ඇති කාලය ද අහුරා දමා ඇතැයි කීවේ ය.
මෙම තත්ත්වය තුළ ජනවාරි 16 නැවත පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට වුව ද මෙඟින් අවස්ථාව ලැබෙන්නේ යැයි ද මෙය සංවිධානාත්මක කුමන්ත්රණකාරී වැඩපිළිවෙළක් යැයි ද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද පැවසීය.
එම නිසා ගැසට්ටුව නිකුත් කළ දිනය හැටියට දෙසැම්බර් 8 වන දා සලකන්නැයි ද ඔහු ඉල්ලා සිටියේ ය.
තවමත් පළමු කියවීම සඳහා පාර්ලිමේන්තුවේ කෙටුම්පත සභාගත කර නැතැයි ද සභාගත කළ දින සිට එයට අභියෝග කිරීමේ දින 14ක කාලය ලැබෙන බැවින් ඒ ගැන විදුලි බල විෂය භාර ඇමැතිවරයාගේ අවධානයට යොමුකිරීමට කටයුතු කරන්නේ යැයි එවිට සභානායක ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසීය.
මෙම දෝෂ සලකා බැලූ විට මේ පනත් කෙටුම්පත කඩිනමින් ඉදිරිපත් කිරීමට හැකියාවක් නැති බව නිරීක්ෂණය වන්නේ යැයි ද සභානායක ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ ය.
මෙම පසුබිම සලකා බලා පනත් කෙටුම්පත නැවත ගැසට් කර සිංහල භාෂාවෙන් ඉදිරිපත් කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද ඉල්ලා සිටියේ ය.