ආන්දෝලනයට පත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට පත්ව තිබූ වෙහෙරගොඩයාය ප්‍රදේශයේ අධිකරණ නියෝග මත සන්තකය පවරා ගත් අක්කර 2000ක පමණ භූමියක වන වගාව ආරම්භ කරමින් පැල 2000ක් සි‍ටුවීමට වනජීවී නිලධාරින් හා ප්‍රදේශවාසී පරිසර හිතකාමී මිනිසුන් ක්‍රියා කළ හ.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් මෙම ප්‍රදේශය වසර කිහිපයක් තිස්සේ අනවසර වගා කරුවන්ගේ ග්‍රහණයට ලක්ව කුඹුරු අස්වද්දා වනය විනාශ කර තිබුණු අතර වනජීවී නිලධාරින් විසින් වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත අනුව වන ජීවී කලාපය අපහරණය කිරීම්මට එරෙහිව අධිකරණයට කරුණු ගොණුන්කොට නඩු පැවරූහ.

එසේ නඩු පවරා වන ජීවීන් ට අයත් භූමි අධිකරණ නියෝග මත යලි වනජීවීන් ට පැවරීමෙන් පසු ගහකොළ නොමැතිව කුඹුරු යායවල් බවට පත්ව තිබූ මෙම ප්‍රදේශය වනජීවී නිලධාරින් හා ප්‍රදේශයේ පරිසරවේදීන් මහා සංඝරත්නය හා අවට ගම්වැසියන් එක්ව වන ගහනය වැඩි කිරීම සඳහා මෙසේ පැල 2000ක් සි‍ටු වීය.

මෙම රුක් රෝපණ වැඩසටහනට මැති ඇමතිවරුන් ට හා ඉහළ රාජ්‍ය නිලධාරින්ට ද ආරාධනා කර තුබුණත් ඒ කිසිවෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.පින්තූරවල දැක්වෙන්නේ ජලගැලුම් නිම්නයට යලි ජීවය දෙමින් වන වගාව ආරම්භ කිරීමට මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව එම කටයුතු ආරම්භ කළ අයුරුයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories