අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්පත් 450,000ක් ලැබී තිබෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ සම්බන්ධ සංගණන කටයුතු දැන් ආරම්භ වී තිබෙන අතර ජුලි මස අවසාන වීමට පෙර අවසන් වීමට නියමිතය. සංගණනයේදී පවුලේ ආර්ථික තත්වය, අධ්‍යාපනය, සෞඛ්‍යය, වත්කම්, නිවාස තත්වය සහ පවුලේ ජන විකාශය යන මාන හය ඔස්සේ ජංගම දුරකථන ඇප් එකක් මගින් විස්තර ලබා ගනු ඇත.

සංගණන නිලධාරිවරයා පැමිණෙන දිනය හා වේලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් කෙටි පණිවුඩයක් මගින් දැනුම් දෙන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. කෙසේ වෙතත්, ජංගම දුරකථන නැති හා ඒ සම්බන්ධ සාක්ෂරතාව අඩු පවුල් ද තිබේ. සංගණන නිලධාරියා පැමිණෙන දිනය ගැන අවධානයෙන් සිට එදින නිවසේ රැඳී සිටිය යුතු බව මේ පිළිබඳ පුවත්පත් නිවේදනයේ දැක්වේ.

පවුල් වයස අවුරුදු 18ට වැඩි සාමාජිකයන්ගේ හැඳුනුම්පත් සංගණනයේදී ඉදිරිපත් කළ යුතුය. තොරතුරු තහවුරු කිරීමට අදාළ ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර, වෛද්‍ය වාර්තා, අවසාන මාස තුනක විදුලි බිල්පත් සහ බැංකු පාස් පොත් සූදානම් කර තබාගන්නා ලෙස පුවත්පත් දැන්වීමක පළ වී තිබිණි.

සංගණන නිලධාරීවරයා විසින් ඇතුළත් කරන ලද තොරතුරුවල සාරාංශය හොඳින් කියවා බලා අත්සන් කළ යුතු බව ද පුවත්පත් නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, දිළිඳු සමාජ කණ්ඩායම් අතර මේ වන විට පුවත්පත් මිල දී ගැනීම හා කියවීම පවතින්නේ ඉතා අඩු මට්ටමකය.

සංගණනයෙන් පසු, තෝරාගැනීම් සිදු කරනු ලබන්නේ කමිටුවක් විසිනි. එහිදී විරෝධතා සලකා බලා නුසුදුසු අපේක්ෂකයන් ඉවත් කරනු ලැබේ.

අස්වැසුම දෙවන අදියරේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු පළමු අදියරේ අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 18කගේ දත්ත යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මේ අතර, අස්වැසුම රාජකාරි වර්ජනය කිරීමේ ග්‍රාම නිලධාරි හා සමෘද්ධි සංවර්ධන නිලධාරි වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගය තවමත් එසේම ක්‍රියාත්මක වේ.

එයට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිපාලන නිලධාරිවරුන් ද අස්වැසුම සම්බන්ධ රාජකාරිවලින් ඉවත් වන බව ඒකාබද්ධ පරිපාලන නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම දිළිඳු සහන වැඩසටහනට සහාය දැක්වීම සඳහා තමන්ට දීමනාවක් අවශ්‍ය බව එම සංගමය පවසයි.

පුවත්පත් නිවේදනය පහතින්;

Similar Posts