ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ සීනි වංචාව යහපාලන ආණ්ඩුවේ බැඳුම්කර වංචාව ද ඉක්මවා යන එකකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ආවේ බැඳුම්කර වංචාකරුවන් කේපීව අල්ලාගෙන ආ ආකාරයට ලංකාවට ගෙන එන බව කියමිනි. එහෙත්, අර්ජුන් මහේන්ද්‍රන් තවමත් සිංගප්පූරුවේ හැංගිලාය.

මුදල් අමාත්‍යාංශය විසින් 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ සීනි ආනයනය පිළිබඳ පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන ආකාරයට මෙමගින් රජයට අහිමි වූ බදු ආදායම රු. බිලියන 15.9කි.

ශ්‍රී ලංකා රේගු දත්ත අනුව, වසරකට සීනි මෙට්‍රික් ටොන් 550,000 – 650,000 අතර ආනයනය කරන බව වාර්තාවේ දැක්වේ. ඒ අනුව මසක සාමාන්‍ය ආනයනය මෙට්‍රික් ටොන් 45,000 – 55,000 අතර ප්‍රමාණයකි.

පසුගිය ජූනි මාසයේදී ගැසට් නිවේදනයක් මගින් ආණ්ඩුව ආනයනික සීනිවලට රු. 50ක බද්දක් පැනවූයේය. එම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඔක්තෝබර් 14දා ශත 25ට අඩු කළේය. බද්ද අඩුකිරීම රු. 49.75කි. වහා ක්‍රියාත්මක වී සීනි ඇණවුම් කළ සජාඩ් මවුසූඩ් නම් ආණ්ඩුව සමග සම්බන්ධ ව්‍යාපාරිකයාට අයත් විල්මා සමාගම නොවැම්බර් 2දා මෙට්‍රික් ටොන් 26,000ක් ආනයනය කළේය.

නොවැම්බර් 25දා තවත් මෙට්‍රික් ටොන් 37,000ක් ආනයනය කළේය. මෙම ආනයනකරු මේ වනවිට සීනි මෙට්‍රික් ටොන් ලක්ෂයකට වඩා ආනයනය කර ගබඩා කර ඇතැයි වාර්තා වේ. මෙම සජාඩ් ෂැංග්‍රිලා හෝටලයට ගාලු මුවදොර ඉඩම විකිණීම හා වියත් මග සමග ද සම්බන්ධ යයි කියවේ.

රජය ගැසට් නිවේදනයක් මගින් සීනි කිලෝවක මිල රු. 85 දක්වා අඩු කළමුත්, රු. 50 බැගින් රජයට බදු ගෙවා සීනි ආනයනය කර තිබූ ව්‍යාපාරිකයන්ට එම මිලට සීනි අලෙවි කළ නොහැකි වූ බව කියනු ඇසේ. කෙසේ වෙතත්, වෙළඳපොළේ සීනි මිල අඩු වූයේ නැත.

මේ අතර ඔක්තෝබර් 27දා ආණ්ඩුව නැවතත් ආනයනය කරනු ලබන සීනි සඳහා කිලෝවකට රු. 40ක බද්දක් පැණවූයේය. එහෙත්, ආනයන නීති අනුව, ඔක්තෝබර් 14දා සිට ක්‍රියාත්මක වූ බද්ද මාසයක කාලයක් යනතුරු වෙනස් කළ නොහැකිය.

එම නිසා, සත 25 බද්ද කාලයේ සීනි ඇණවුම් කර ආනයනය කළ ව්‍යාපාරිකයන්ට ආනයන අපනයන පාලක හරහා බලපත්‍ර ක්‍රමයක් ආනයනය කරන ලද සීනි වරායෙන් ඉවත් කරගත හැකි විය. ඒ අනුව, ඔක්තෝබර් 27දා සිට නොවැම්බර් 22දා දක්වා ආනයනය කරන ලද සීනි ශත 25 ආනයන බද්දට යටත්ව නිකුත් කරන ලදී.

මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ දැක්වෙන පරිදි, මෙම ව්‍යාපාරිකයා ඇතුළු ව්‍යාපාරිකයන් සීනි ආනයනය කර තිබෙන සාමාන්‍ය මිල, ආනයන බදු ද ඇතුළුව රු. 84.50කි. ඔවුන් වෙළඳපොළේ සීනි විකුණා තිබෙන සාමාන්‍ය මිල කර 118.13කි. ලබා තිබෙන ලාභය රු. 44කට වැඩිය.

මෙම බදු සහනය මගින් පාරිභෝගිකයාට සහනයක් ලැබී ද නැත. එයින් ව්‍යාපාරිකයන් හය හත්දෙනෙකු අධික ලාභයක් උපයා ඇත. ආනයනය කරනු ලබන සීනිවලින් 85%ක් පමණ ආනයනය කරන්නේ මෙම සමාගම් කීපය විසිනි.

ඔවුන් විසින් මෙම සීනි ජාවාරමෙන් අධික ලාභයක් උපයා තිබේ. එය සාධාරණ ලාභයක්ද? මෙම ලාභය භුක්ති වින්දේ ව්‍යාපාරිකයන් තනිවමද? නැතිනම්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුට වාසිදායක මෙම තීරණය ගත් ආණ්ඩුවේ දේශපාලකයන්ට ද මෙම වංචාවෙන් ලැබූ ලාභයෙන් කොටසක් ගියාද?

ජනතා විමුක්ති පෙරමුණ මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලේ දැක්වෙන ආකාරයට පිරමීඩ් විල්මා සමාගම විසින් රජයේ අයථා බදු හේතුවෙන් ලබා තිබෙන අයුතු ලාභය රු. කෝටි 1,000ක් පමණ වේ යයි ගණන් බලා තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තු මුදල් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවේ ද දැක්වෙන ආකාරයට 2020 ඔක්තෝබර් 14 සිට 2020 පෙබරවාරි 21 දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සීනි ප්‍රමාණයෙන් 39%ක් ම ආනයනය කර තිබෙන්නේ මෙම සමාගමයි. වංචාවෙන් රජය හා මෙරට මහජනතාව ලබන පාඩුව දවසින් දවස ඉහළ යයි.

වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.

http://praja.lk

Similar Posts