panama

අන්නන් දෙමළ. කළුයි එච්චර උසත් නැති මිටිත් නැති අන්නන් යෝදයෙක් වගේ. යකඩයක් වගේ. දැන් මේ යකා ආගිය අතක් නැහැ. අන්නන් ගැන මට තියෙන්නේ පොටෝ මතකයක්.

සතපහේ කාසිය දෙපැත්තෙන් ඇතුළට තැලුවා වගේ මූනක ඇස්දෙක ටිකක් යටට ඔබලා. බුරුසුවක් වගේ රැවුලක් නහයට යටින් තිරසට. පොලිස් පෙනුමක්. බැලූ බැල්මට මඩකළපු දෙමළ පෙනුමක් නැගෙනහිර හිංගල පෙනුමකට මුසුවෙලා වගෙයි. නිතරම නිහඩයි. හිටි ගමන් වක්කඩ කැඩුවා වගේ හිනාව දොරේ ගලනවා.

එතකොට අන්නන්ගේ කාසි මූන කංචිකුඩිච්චි ආරු වැව වගේ. ඉතිං අන්නන් ගෙයි මගෙයි බැදියාව ලැදියාවක් වෙලා අපි මිතුරෝ වෙන්නේ මහා කැලයක් මැද්දාවක. ඒතමයි කංචිකුඩිච්චි ආරු කැලේ. නැත්තන් ලාහුගල රක්ෂිතය කියලත් කියන්න පුළුවන් ද මන්දා..

මේ යුද්දේ ඉවර වුණා විතරයි කාලයක්. මට මතක විදිහට 2009 වෙන්න ඕනී. නාට්ටි කරන්න කොළබ ඇවිත් ඒකත් හරි ගිහිං නැතුව එහෙට මෙහෙට විසිවෙවී ඉන්න කාලයක් මේ. මොනරාගලින් එහාට ගිහිං නැති මම පානම බස් එකට නගින්න රත්නපුරේ මල්ලිකා හෝටලය ළග ඉන්නවා. කටුබැද්ද ඩිපෝ එකෙන් තමයි මේ බස් එක දාලා තිබුණේ ඒ කාලේ.. මට මතක විදිහට උදේ 7 වෙනකොට මේ බස් එක රත්නපුරේ පහුකරනවා. ඉතිං උදේ හය හමාරට විතර මම ඉන්නවා පානම යන්න.

පානම තියෙන්නේ මොනරාගලට එහා කියන එක විතරයි මම දන්නේ. කැරලි දුම් ගුලි කෝච්චියක් වගේ අහසට විසිකරන සිගරැට් එකකුයි ඇවිදින්න හිත අස්සේ දගලන ආසවකුයි විතරයි මම ළග මේ වෙනකොට ඉන්නේ. මෙහෙම ඉන්නකොට බෑග් තඩියකුත් එක්ක කොල්ලෙක් ආපි.”මල්ලී ගින්දර චුට්ටක් දෙන්න පුලුවන්ද” මේ තමයි අපි දෙන්නගේ කතාවේ ආරම්බය. මේ යකා නිසා තමයි මට අර යකඩය හම්බවෙන්නේ..ඒ කිව්වේ අන්නන්.. මේ හාදය රත්නපුරේ හිදැල්ලන.

නමනම් දැන් මතකයට එන්නෙම නැහැ. කොහේද මේ යන්නේ.. පානම.. මම පොතුවිල් බැහැලා කංචි යනවා..කංචි?.. කංචිකුඩිච්චි ආරු.. මල්ලිට මතකද නැගෙනහිර තිබුණ ලොකුම එල්.ටී.ටී.ඊ කදවුර.. ඒ මේ කැලේ තමයි තිබුණේ. කාන්තා බළකාය තමයි ඉදලා තියෙන්නේ.. අර පොලිස්සියේ දහස් ගානක් ගෙනල්ලා පෝලින්කරලා වෙඩි තියලා මැරුවේ ඒත් මේ කැලේ තමයි… ඉතිං අයියලා මොකෝ කරන්නේ නිධානයක්වත් ගන්න ට්‍රයි එකක්වත් දෙනවද?… අපොයි නැහැ මල්ලී අපි වැවක් අරං කරනවා.

බැසිල් මහත්තයා තමයි දුන්නේ. මේ කැලේ අස්සේ සෝම කුලම් කියලා වැවක් තියෙයි දැන් එකේ වැව් බැම්ම කැඩිලා අපිතමයි වැව ආයෙත් බදින්නේ… මල්ලී පානම ගිහිං ගෙදර යන්න කලින් කැමතිනම් එන්න. අපේ කවුරුහරි හැමදාම උදේට පොතුවිල් එනවා වාහනේ. ඒකෙම එන්න පුළුවන්… කෝල් කරන්නකෝ… මෙහෙම තමයි කංචි කැලේ අස්සට රිංගන්න පොටක් පෑදුණේ.

කොහොම හරි අන්තිමට පානම යන ගමන පැත්තකට විසිකරලා මම මගේ අලුත් මිත්‍රයත් එක්ක පොතුවිලෙන් වමට හැරුණා. ලංකාවේදී වමට හැරුනහම සාමාන්යෙන් වෙන්නේ කෙළවෙන එකනේ.. හැබැයි මේ වමට හැරිල්ලෙන් මට පාඩුවක් වුණේ නැහැ. මට හොද මිත්‍රයෝ ගොඩක් හම්බ වුණා. ඒ මිනිස්සු මගේ පරණ පෝන් එකත් එක්කම දුරස්ථ වුණා. හැබැයි හැමදාම මතකයේ ඉන්නවා. ඉතිං කංචි වලදී මේ සෙට් වුණ මිත්‍රයෝ අස්සේ අන්නන් විශේෂයි.

අන්නන් යකෙක්..

“කෝ පෙන්නපන් උබේ පුක අන්නන්.. මූ කොටින්ට විරුද්දව එස් ටී එෆ් එකට ඔත්තු දීලා අහුවෙලා ඔය කෑම්ප් එකේ යකඩ කටු කම්බි කූඩුවේ දාලා ඉදලා.. කොටි කෙල්ලෝ මූ මකවන්න හදලා පස්සේ රැවුල ඉන්දියාවේ අර නළුවාගේ වගේ නිසා.. මොකාද මචං ඒ නළුවා.. පුකේ හනත් ගහලා තමයි නිදහස් කරලා තියෙන්නේ..” මෙහෙම තමයි සිංහල මිත්‍රයෝ දෙමළෙක් වුණ අන්නන්ව මට හදුන්වලා දුන්නේ. සිනහා සාගරේක කිමිදිලා පියවි සිහියට ආවට පස්සේ තමයි දැක්කේ යායට තැනි කුබුරු.

මේ කුබුරු වටකරන් බාලාගෙන ඉන්න කංචි මහා කැලේ. මම මෙතැනට යනකොට සෝමකුලම් වැව පොඩි දියකදුරක් විතරයි. වැව පුරා හරක් දුවනවා. අපි ඒ මැදක වාඩි ගහගෙන ඩෝසර් වටකරගෙන වැඩ. මොකෝ මෙහෙම ඩෝසර් වටකරලා මම අහනවා. රෑට බලපන් මගේ අලුත් මිත්‍රයෝ කියනවා. වාඩිය වටේට ඩෝසර් බැටරි දෙකකින් කරන්ට් දුන්න වයර් එකක් රවුමක් ඇදලා.

අන්නන් වරෙන් යනවා..අන්නන් මේක කරපං මේක ගනින් ගන්නවා.. එකයි මම මුළින්ම කිව්වේ අන්නන් කියන්නේ යකෙක්.. අන්නන්ට ඕනි වාහනයක් ගස් ගල් උඩ උනත් අරගෙන යන්න පුළුවන්. ඩෝසරයෙන් පස් කපන්න පුරවන්න අම්මෝ ඒ ඕනී වැඩකට අන්නන් මාරයා.

‘මහත්තයා පුලුවන්නම් මට ලයිසම අරං දෙන්න. මට මෙහේ වැඩක් කලාට පිට ගිහිං වැඩකරන්න බැහැ. ලයිසන් නැතිනිසා. ” හොදටම මිතුරු වුණ අන්නන් මට කියනවා. ඉතිං ලයිසන් එකක් ගන්න එක මහා කජ්ජක්ද? මම අහනවා.. පරිසරය නිහඩ වුණාට පස්සේ මට අකුරු බැහැනේ කියලා අන්නන් හෙමිහිට කියලා දානවා.” හරි මම බලන්නම් මම කියනවා.. මම අදටත් තවම බලනවා.

හැබැයි අන්නන් කොහේද මොනවද කරන්නේ කියලා මම දන්නේ නැහැ. අන්නන්ගේ ගම සංගමන් කන්ද. විහාර මහා දේවි ගොඩබැහැපු ජන කතාව අස්සේ තැනක කියනවා කෝ කුමාරී කියන එකෙන් තමයි කොමාරිය හැදුණේ කියලා. ඉතිං අන්නන්ගේ ගම කෝමාරියට ගොඩක් කිට්ටුයි. ඒ කතාවේම තියෙනවා කුමාරි මුහුදේ පාවෙලා එනකොට කට්ටිය අට්ටාල ගහගෙන බලං හිටියා කියලා. එතැනට තමයි අද අඩ්ආලච්චේනෙයි කියලා කියන්නේ.

පොතුවිල් මුහුදු මහා විහාරය ලගින්නේ මේ කුමාරිය ගොඩ බැස්සා කියලා මේ ජන කතාව කියන්නේ. ඉතිං ඒ ගම වටකරගත්ත ගම් පොකුරක් අස්සේ තමයි අන්නන් හැදෙන්නේ. හොදට සිංහල පුළුවන් අන්නන්ගේ රස්සාව තමයි තුවක්කුවක් අරං රාත්තිරියට මුසල්මානු මිනිස්සුන්ගේ කුබුරු අලින්ගෙන් ආරක්ෂා කරලා දෙන එක. ඒක ලේසි වැඩක් නෙවෙයි. එක ඇස් මානයට කැලේ තුරුලට යනකම්ම තියෙන කුබුරු සාගරය හොදට පේන තැනක උඩින් වාඩියක් අටවගන්න ඕනි. ඊළගට අලිවෙඩි අඩුමකුඩුම එක්ක රෑ පහන්කරන්න ඕනි.

රාත්තිරිය

“මොකුත් නැහැ බීඩියක් පත්තුකරගන්නවා ඊළගට ඔහේ ඉන්නවා.. හොදට සද්දේ අහගෙන ඉන්න ඕනී. අලි කියන්නේ හොර යක්කු. එනවා දැනෙන්නේ නැහැ. හැබැයි අවදියෙන් හිටියොත් සද්ද ඇහෙනවා.

කන බෙල්ලේ වදිනවා අනිවාරයෙන් ඇහෙනවා. ” ඉතිං අලින්ට වෙඩි තියලා තියෙයිද මම අහනවා.” අලියෙකුට කවදාවත් මැරෙන්න, හිතලනම් වෙඩි තියලා නැහැ. බේරෙන්න බැරිම වුණොත් පස්ස පැත්ත පැත්තට එකක් තියනවා. හැබැයි මට දවසක් ඕක වැරදුණා. මගේ වාඩිය ළගටම දවස් තුනක් අලියෙක් එක දිගටම ආවා. ඇවිත් හොරගල් ඇහිදිනවා. මම දැනගත්තා ඊලග දවසේ මූ ආවොත් මම ඉවරයි කියලා.

මම පස්සට දෙකක් ගැහැව්වා.(වෙඩි තිබ්බා) පස්සේ දවස් තුන හතරකට විතර පස්සේ කැලේ ගියා වල් මීයෙක්(මීමින්නා) ගහන්න හිතාගෙන කුණු ගදක් ඇවිත් බලනකොට අර අලියා මැරිලා හිටියා. දුකේ බැහැ. මම ඇඩුවා. සතියක් විතර කෑම කන්නත් බැරිව හිටියා. අලියා කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද?…” අන්නන් මාත් එක්ක එක දිගට කතාව සෝම කුලමට උඩ ආකැහේ දිලිහෙන හදහාමිත් කතාව අහගෙන. එතකොට යාළුවෝ මේ කියන එල්.ටී.ටී.ඊ කතාව මොකද්ද?.. මේ කැලේ තමයි ලොකුම කොටි කාන්තා කදවුර තිබුණේ. මේ කුබුරේ කෙළවර තමයි ගෑනු නාන ළිං පවා තිබුණේ.

මහත්තයා මම හෙට උදේට කදවුරට එක්කරගෙන යන්නම්කෝ වාහන සුන්බුන් තවමත් තියෙනවා. ඉස්සර කරුණා අම්මාන් එහෙම නිතරම ඔය කදවුරට එනවා. යුද්දේ තියෙන කාලේ මේ පැත්ත හරිම බයානකයි. එත් මම ඒ කාලෙත් කැලේ රිංගුවා. කැලේ රිංගලා දඩයමක් කරගත්තේ නැත්තම් මට හරි අමාරුයි.

මට හොදට සිංහල පුළුවන් හින්දා කොටි හිතන්න ඇති මම ඔත්තු බලන්න කැලේට රිංගුවා කියලා. ඉතිං මාව හිරකරගෙන ඉදලා නිදහස් කළා.” මම එතැනින් එහාට අන්නන්ගෙන් ඒ ගැන ඇහැව්වේ නැහැ. හැබැයි 2007 නැගෙනහිර සම්පුර්නයෙන්ම කොටි බලයෙන් මිදෙනකොට අන්නන් හංගලා තියෙන ආයුධ හොයන්න එස් ටී එෆ් එකට ගොඩක් උදව් කරලා තියෙනවා.

ඒ කංචි කැලේ හැම ගහක් ගලක්ම අන්නන්න්ගේ මැප් එකේ සදාකාලිකවම සලකුණු වෙලා තියෙන නිසා. කොහොම හරි අලි ඉන්න අලි සෙල්ලං ගොඩක් තියෙන කැලයක දඩයමක මම මුළින්ම ගියේ අන්නන්ට පිං සිද්දවෙන්න.

සෝම කුලමට උදහනක්

වැවේ මැද වාඩියේ අපි නින්දට ගියා. වටේටම අපේ ආරක්ෂාවට ටෙන් වීල් එස්කැවේටර් යකඩ යක්කු. ඊටත් එහායින් බැටරියෙන් ජවය දෙන විදුලි වැට. පහුවදා අරුමක්කේ ඇහිපියන් ඇහැරවල ඩෝසර් සත්තුන්ගේ ඇග උඩට නැගලා වටේට වටේට බලනකොට පනහක විතර අලි රංචුවයි. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි ඉවර කරන්න හිතෙන්නේ නැහැ කියන එක අම්මපා ඇත්ත. අන්නන් උදේට කන්න හදනකම් මම අලි සෙල්ලම් අස්සේ. ඊළගට පොතුවිල් ගිහිං ඩීසල් අරං ආවා.

එතැනත් ඩයිවර් අන්නන්. ඊළගට ඩෝසරේ උඩත් අන්නන්. මේ මිනිහනම් මාර මිනිහෙක්. අපි පොතුවිල් ගිය වෙලාවේ මගේ මිත්‍රයා අද රාත්‍රියට කැලේ යමු කියලා ආකාශ මිටියකුයි ගිණිපෙට්ටි දුෂිමකුයි ගත්තා. හවස් වෙනකොට තමයි තේරුණේ. අන්නන් සීරුවට වාඩියේ කොනක මුළු ගැහිලා බරටම බාවනාවක. හිස් පතුරොම් කොපු වලට ආකාස ගිපෙට්ටි වෙඩි බෙහෙත් පුරවනවා. “සංජීව අනික් දවසේ මෙහේ එනවනම් මේකට හිස් පතුරොම් කොපු ටිකක් හොයලා ගෙනත් දීපං.” පිරවෙන පතුරොම දිහාටම ඇස් විසිකරගෙන බලාගෙන ඉන්න මට මගේ අලුත් මිතුරෙක් යෝජනාවක් ගේනවා. “ඔය තුවක්කුවත් හදලා තියෙන්නේ අන්නන්මයි.

මිනිහට ඕනී තුවක්කුවක් කපන්න පුළුවන්. මාර වැඩකාරයා කොල්ලා.” මගේ දිහා හෙමින් එසවිලා බලන අන්නන් හිනාවෙනවා.කොහොම හරි අපි කදවුර බලන්නයි දඩයමටයි සේරටමත් එක්ක හවස 2ට විතර කංචිකුඩිච්චි ආරු කැලේට රිංගුවා. බිම් බෝම්බ නැද්ද? මම අහනවා. ” ඇති මම ඔයගොල්ලෝ එක්කයන පාරේ ඒවා නැහැ. බයවෙන්න එපා.” අන්නන්ගේ උත්තරේ. අපි යනවා. කොටි කෑම්ප් එකේනම් දැන් නටබුන්.(මේ වෙනකොටනම් නටබුණුත් නැතිව ඇති) සේරම බලාගෙන අපි කැලේ අස්සේ සෑහෙන්න දුරක් ගියා. දැන් රාත්‍රිය. කෑලි කපන අදුර අස්සේ දැන් අපි ඉස්සරහට එනවා. අපි කණ්ඩායම හතරයි.

අන්නන් ටෝච් එක නළලේ ගැටහැගෙන තුවක්කුවත් අතේ තියාගෙන ඉස්සරහට. “මේ මෙච්චර ළගින් එන්න එපා අඩුම තරමේ දෙන්නෙක් අතරේ අඩි දහයක්වත් දුරක් තියෙන්න ඕනි” සමහර වේලාවට හිටිගමන් නතරවෙන අන්නන් කියනවා. මම අන්නන් ළගින්ම පස්සෙන්. ටෝච් එක එල්ලගෙන ඉන්නේ ඇහැ ළගින්ම ඇහැට සමාන්තරව.

තුවක්කුව එසවිලා සැනෙකින් අන්නන්ගේ උරහිසට තදවෙනවා විතරයි. සද්දයක්.. ඊළගට වැටිලා අවසන් ඔක්සිජන් ටිකත් උරාගන්න දගලන මීමින්නෝ දෙන්නෙක්. “වල්මියෝ ජෝඩුව එකටම තමයි ඉන්නේ. මේකේ කැට රවුමකට තමයි යන්නේ මේ බලන්න දෙන්නට කට දෙකයි බැහැලා තියෙන්නේ.” අන්නන්ම පශ්චාත් මරණ පරීක්ෂණයත් කරනවා. වල්මියෝ හතරක් දඩු කඩක එල්ලං අපි වාඩියට එනවා. අන්නන්ගේ අත ඉහළට ඉස්සෙනවා. අපි නතර වෙනවා. අලි රංචුවක් ළගලගම. ජීවිතේ පළමු අත්දැකීම. මරණ බය කියන්නේ මේ වගේ දෙයක්වෙන්න ඇති නෙහ්. මම හිතනවා. මොහොතකින් වෙඩිල්ලක්.

හරක් දහස් ගානකගේ කුර බිම වදින සද්දේ සුළිකුනාටුවක් වගේ. මී හරක් කුලප්පු උනහම අලි වෙන අතකට යනවා. මොකද ඕකුන් බය වුණාම දුවන්නේ අලිත් පෙරළාගෙන. අපි මැදියමේ වාඩියට එනවා. එතැනින් පස්සේ මදු විතත් එක්ක වල්මියගේ මස් බඩට යනකම්ම වැඩ කාරයා තමයි අන්නන්..ඉතිං ඔන්න ඔහොමයි අන්නන් හම්බවුණේ..

ඔය ගමනට පස්සේ ආයෙත් දෙපාරක් විතර මම අන්නන් හොයාගෙන ගියා.. ඊට පස්සේ පරණ පෝන් එක තියෙන පරණ කාලේ අන්තිමට ආයෙත් දවසක අන්නන් මට කතා කළා. “මහත්තයා මම දැන් ඉන්නේ කොළබ.” හැබැයි මට අන්නන් හමුවෙන්න බැරිවුණා. අන්නන් ලයිසම ගත්තද නිතරම මට හිතෙනවා. අන්නන් ගන්න ඇති මොකද මිනිහා යක්ෂයෙක්..මම මටම කියාගන්නවා.

කේ.සංජීව

Similar Posts