නැගෙනහිර අහස නිල් පාටයි.. තැනින් තැන කළු වළා කැටිති ඔහේ බලාන ඉන්නවා. බස් රථය හැල්මේ ඉදිරියට දුවනවා. ලාහුගල.. උදෑසන හිරු කිරණ පෙරළා එවන රශ්මි අතරින් බෝ්ඞ් ලෑල්ල බොඳවෙලා පේනවා. පිටුපස්සේ සීට්වල ගොඩක් අය නිදි. ගමන කෙළවර වෙන්න තව පැය එක හමාරක්වත් යන්න වෙයි මම සිතනවා. ලාහුගල වඟුරේ බෙරු කන්න උදෙන්ම අලි රංචු ඇවිල්ලා.
ලාහුගල තමයි යාල කුමන ඝණ වනාන්තර නැගෙනහිර කණ්ඩිකුඩිච්චි ආරුවට මුසු කරන්නේ. මේවායේ ඉන්න ජනී-ජනයා පැවතගෙන එන්නේ උඩරට කැරැල්ලට සම්බන්ධ වෙලා පල්ලමට බැහැපු අයගෙන්. 1815 මෙහෙම පල්ලම් වුණ ගොඩක් දෙනෙක් ගල්ඔය අසල නැවතුනා. තවත් කොටස් කුඹුක්කන් ඔය දිගේ පල්ලමට ඇවිල්ලා කුමන නතර වුණා. පස්සේ පානම රජ කාලෙන් පස්සේ දිගාමඩුල්ල වැව්ගම් පත්තුව කැළය වසා ගත්තා. 1815 පල්ලමට ආපු වීරයෝ තමයි නැවත සැරයක් මේ බිම කෙළිබිමක් කළේ.
පානම අනූෂා හෝටලයේ තැටියට පොල් රොටි වැටෙන කොට අපි පානමට ආවා. කෑම කාලම වැඩ පටන් ගන්න පුළුවන්. අනූෂා හෝටලය තමයි පානමට දැනට ඉතුරුවෙලා තියෙන පැරණිම හෝටලය. ඉස්සෙරෝම දඩමස් මී පැණි කහට හකුරු එහෙම තමයි තිබුණා කියන්නේ. දැන් නම් කුකුල් මස් ඩෙවල් වුණත් තියෙනවා.
පානම මැදගෙදර කට්ටිය සොයාගෙන තමයි මම මේ ගමන ආවේ. ඒත් ඒ අදහස කැළේ ගියා දයාරත්න මාමා හෝටලයේදී සෙට් වුණාම. අපි ආගිය තොරතුරු ගැන කතාවට වැටුණා. මාමාගේ සම්පූර්ණ නම විජේසුන්දර දයාරත්න. විජේසුන්දර තමයි තාත්තා. පානම නම් තියන්නේ තවමත් දෙමළ ක්‍රමයට. තාත්තාගේ නම මුලින්. දරුවට දාන නම අගින්.
කරත්තය
මට දැන් වයස 53ක් වෙනවා. අවුරුදු 18න් තමයි කරත්තයට ගැටගැහුනේ. අපි කලින් නම් මේ රස්සාවෙන් හොඳට හම්බ කළා. දැන් නම් එච්චර සරු නැහැ.
ඇයි ඒ? මම මැද්දට පනිනවා. ඒ කාලේ අපි කැළේ කපලා බුරුත පැටෙව්වා. බුරුත පටවන කොට සාමාන්‍යයෙන් දවස් තුනක් කැළේ ඉඳලා ආවහම කරත්ත ගාස්තුව විතරක් රුපියල් පනස්දාහක් ලැබෙනවා. දැන් ඒවා සේරම නැවතිලා. දැන් ඉතින් ඔය දර ටිකක් වී ටිකක් තමයි අදින්නේ.දැන් දර කරත්තයක් ඇද්දොත් රුපියල් දෙදාහයි. වී ගෝනි දහයක් ඇද්දොත් ඒත් රුපියල් දෙදාහයි. දැන් වුණත් මම මේ රස්සාවෙන් මාසෙකට රුපියල් තිස්දාහක් විතර සොයනවා.
මාසෙකට රුපියල් තිස් දහසක්… මේ රස්සාවත් නරක නැහැ. මම සිතනවා. පානම ජීවිතය සරලයි. කෑමට අවැසි අඩුම කුඩුම ගොඩාක් වෙලාවට හේනෙන්ම එනවා. මම මාමාගේ කරත්ත කතාව ටිකකට නතර කරනවා. මම යනවා අතීතයට.
අතීතයට කරත්තයෙන්
කරත්ත රෝදය සොයා ගැනීම මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ වැදගත් අවස්ථාවක්. ඒ රෝදයේම ඊළඟ විකාශනය තමයි කරත්තය. බෞද්ධ සාහිත්‍යයේ වගේම ලෝකයේ බොහෝ සාහිත්‍ය තුළත් මේ කරත්තයට වෙන්වන ඉඩ සීමාව ගොඩක් ලොකුයි. ලංකාවේ අපට උරුම කරත්ත වර්ග කීයක් තියෙනවාද? බර කරත්තය, අත් කරත්තය, බරබාගය, තිරික්කලය, බක්කි කරත්තය, අශ්ව කරත්තය, රේස් කරත්තය, භූමිතෙල් කරත්තය, බණ කරත්තය මේවා තමයි අතීත ලංකාවේ පාරවල්වල රජකම් කළේ. දැන් තත්ත්වය නම් වෙනස්. අපි මේ කතා කරන කරත්ත වර්ගය බර කරත්තය. මේ කරත්තයට ගොන් නාම්බෝ දෙන්නෙක් ඕනි. තිරික්කලය වගේ කරත්තයක් ගත්තොත් ඒකට බඳින්නේ එක ගොන් වස්සයි. ඒක ටිකක් කුඩා කරත්ත වර්ගයක්.
වස්සෙක් තේරීම
සාමාන්‍යයෙන් මහත්තයෝ කරත්තයකට බඳින්න වස්සෙක් අවුරුදු 2 1/2ක් වත් වෙන්න ඕනි. අපිට වස්සෙක් ඕනි වුණාම හරක් පට්ටියට යනවා. ගිහින් බලනවා. අපිට තේරෙනවා මුන් දෙන්නා හොඳයි. එකට බඳින්න පුළුවන් කියලා. පට්ටිය අයිතිකාරයත් සමහර වෙලාවල්වලට තෝරලා දෙනවා. වහු පැටව් දෙන්නෙක් දැන් පට්ටියකින් ගන්න රුපියල් පනස්දාහක් යනවා. ඊට පස්සේ අපි ඒ දෙන්නා ගෙදරට ගෙනල්ලා බැඳලා ටික දවසක් හොඳට කන්න එහෙම දීලා පිළිවෙළකට ආවට පස්සේ නාස් ලණුව දානවා.
මේ නාස් ලණුව දාන එකත් හරියටම කරන්න ඕනි. නාහේ හරිම තැනට ලණුව වටෙන්න ඕනි. නැත්නම් ගොන් නාම්බා නාහෙට අහන්නේ නැතුව යනවා. නහයට ඇඟිලි දෙක දාලා බැලූවහම හොඳට තේරෙනවා තැන. එතන මෙළකයි. ගෝනි කට්ටකින් නැත්නම් කෝටු කෑල්ලකින් එතන හිල් කරනවා. ඊට පස්සේ කොහු ලණුව දමනවා. නාස් ලණුව දාපු ගමන් නැගිටලා හොඳට පිදුරු ටිකක් හරි තණ කොළ ටිකක් හරි කෑවොත් ඒ වස්සා හොඳටම හරි යනවා. මුලින්ම කන්නැතුව හිටියොත් ඒකා කෑමට හොර වෙනවා.
මොකද ඒකෙන් කියන්නේ වස්සා නාස් ලණුවට බය වුණා කියන එක. ඊට පස්සේ දවස් තුනකට විතර පස්සේ ලණුව මාරු කරලා වෙන ලණුවක් දානවා. ඊටත් පස්සේ පාරේ එහේ මෙහේ දක්කලා පාරට හුරු කරනවා. සතියක් විතර මේ විදිහට යන්න ඇරලා වස්සෝ දෙන්නා කරත්තෙට බඳිනවා. මේ වෙලාවේ ටිකක් පරිස්සම් වෙන්න ඕනි. මොකද එහෙ මෙහෙ දුවන්න බලනවා. කොහොමෙන් කොහොම හරි බදඟිරි ගාලා සද්ද දාලා අන්තිමේදි ඒකා වැඬේ අල්ලා ගන්නවා. ඊට පස්සේ ඉතින් වී ගෝනිය දෙක දාලා බර වැඩට හුරු කරනවා. අවුරුදු 5ක් යනකොට වස්සකුට හොඳට බර වැඩ කරන්න පුළුවන් වෙනවා.
මාමා කතා කරනවා. රොටි කැබලි ඇඹරිලා බඩට යන ගමන් ගොඩොස් ගාලා ප්ලේන් ටී පාරකුත් දානවා. කල්පනා කරනවා ආයෙත් කතා කරනවා. සමහර වෙලාවට කතාව කැළේ යනවා. කඬේට එන එකෙක් ඔච්චම් කරනවා. සිනහා වෙනවා…
කින්නියා ගොන්නු
පානම වැඩිපුරම කරත්තවලට බඳින්නේ කින්නියා ගොන්නු මහත්තයෝ. අර සුදු පාට අන් තියෙන උන්. දැන් මම ඉන්නේ පානම ගම ඇතුලේ. මේකත් කරත්ත ගෙදරක්. පැත්තකින් හරක් මඩුව. තවත් පැත්තක ආඩි ළිඳ. තවත් පැත්තක මැටි වරිච්චිය සුදු පාටින් පිරියම් කළ සිසිල රැුඳි නිවෙස. අයිතිකරුවා දමිළයෙක්. පානම කියන්නේ සිංහල-දෙමළ සහජීවනයේ ගම්මානය. ගම හැමතැනම සිංහල-දමිළ මිශ්‍ර වුණ ගෙවල් දොරවල් තමයි තියෙන්නේ. ඉලෙයි තම්බිතුරෙයි අප්පා මගේ ඉස්සරහා සිනහවකින් මුහුණ සරසගෙන හිඳ ගත්තා. මාමාගේ ප්රියාවියත් ළඟින්ම. දැන් මගේ වයස අවුරුදු 79 යි. පුංචි සන්දියේ ඉඳලාම කරත්ත රස්සාව තමයි කළේ.
ඒ කාලේ මේ පානම ගෙදරකට කරත්තයක් තියෙනවා කියන්නේ ඒක ලොකු නම්බුවක්. සල්ලිකාරයන්ට තමයි එදා කරත්ත තිබුණේ. මට මතක ඒ කාලේ පානමට කරත්ත 75 ක් විතර තිබුණා. දැන් නම් කරත්ත 35ක් විතර තමයි මේ මුළු ගමටම තියෙන්නේ.
මොකක්ද භාගෙට භාගයක් අඩුවෙන්න හේතුව. අත්ට්‍රැක්ටරයේ පැමිණීම පානම වැසියන් ගොඩ දෙනකුගේ අදහස ඒක. අනික දැන් කැළයෙන් හොරාට ලී කපන රක්ෂාව නැති නිසා කරත්ත කෙරුවාව වැඩක් නැහැ. දැන් කරත්තය ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ දර අදින්න නැත්නම් කුඹුරට බිත්තර වී ගෙනියන්න. පස්සේ අස්වැන්න ගෙට ගන්න. මේ යාන්ත්රීකරණයේ ලොකුම වාසිය ඇවිල්ලා තියෙන්නේ වස්සන්ට. මොකද ලී කොට ලෝඞ් එකක් අදිනවා කියන්නේ සුළු පටු වැඩක්ද? හැබැයි ඉතින් ගොන් වස්සෙක් කරත්තයට හුරු වුණාම ඌ බොක්කෙන්ම මේ වැඬේ කරනවා. බර කියන එක ඒකට ගාණක් නැහැ. කතාවටත් කියන්නේ ගෝනා වගෙයි කියලනේ.
කරත්ත බැඳීම
මගේ පරම්පරාවේ හතරවෙනි පුරුකත් දැන් කරත්ත කෙරුවාව කරනවා. ඒ මගේ පුතා. එයාගේ දරුවෝ නම් ඉගෙන ගන්නවා. එයාලා කරත්ත රැුකියාව කරන එකක් නැහැ. අපේ පුතාලගේ පරම්පරාවෙන් පස්සේ මේක ඉවරයි. මම මේ ළඟදි පුතාට කරත්තයක් හදලා දුන්නා. දැන් කරත්තයක් හදන්න රුපියල් හැටදාහක් විතර යනවා. කරත්ත රෝදය හදන්නේ දඹ කියන ලී වර්ගයෙන්. හල් මිල්ල තමයි කරත්තයේ සැකිල්ලට ගන්නේ. එතකොට විය ගැහැට ගන්නේ විශේෂ ලී වර්ගයක්ද? මම දයාරත්න මාමාගේ බ්‍රෙක් නැති කතාවට විලංගුවක් විසි කළා. විය ගහට ගන්නේ කොස්. මොකද කොස් ලීය රත්වෙන්නේ නැහැ. ඒ නිසා වස්සාගේ බෙල්ලට හොඳයි. තුවාල වෙනව අඩුයි.
කරත්තයේ සම්පූර්ණ බර වියගහ තමයි ගොනාගේ කරට දෙන්නේ. සාමාන්‍යයෙන් බුරුත කඳන් එහෙම කරත්තයකට පැටෙව්වහම ඒ කරත්තය කිලෝ 400ක් විතර බව වෙනවා කියලා කියනවා. ඒත් ඉතින් හා යමන් පුතා කිව්වහම දුවන්න ඕනි. සමහරු වස්සෝ දෙන්නගේ වලිග උඩට කරලා අඹරනවා. එතකොට ඉතින් දුවන්නේ පිඹගෙන. කෝච්චියක් වගේ. ඒත් වස්සන්ට ගොඩාක් ආදරේ කරන කරත්ත හිමිකරුවා නම් එහෙම කරන්නේ බැරිම අවස්ථාවක.
ගරු සැලකිලි
කරත්තයට බඳින ගොන් වස්සෝ දෙන්නට පානම කරත්ත හිමියෝ කවුරු වුණත් දෙවියන්ට වගේ තමයි සලකන්නේ. හැමදාම හොඳට නාවනවා. නිව්ඩු වතුර වේල් තුනක්වත් බොන්න දෙනවා. හොඳට අව්වෙන් වැස්සෙන් නොතෙමී ඉන්න මඩුවක් හදලා ඒකට පිදුරු බක්කියකුත් ගහනවා. රැුයට වස්සෝ දෙන්නා මැදි වෙන්න ගිනි මැලයකුත් ගහනවා. ඒ මැසි මදුරුවෝ දෂ්ඨ කරනවට.
මේ ගරු සැලකිලි නිසාම…
ඔව් මම නම් මගේ පණත් හරි මේ එකාලත් හරි. උදේට ඉතින් කරත්තය සූදානම් කරනවා පේනකොට නැගිටිනවා. ගොම එහෙම දාලා වැඩ කරන්න ලෑස්ති වෙනවා. ඒවා අමාරුවෙන් ගහලා කියන්න ඕනි නැහැ. ඉලෙයිතම්බි තුරෙයි සුප්පා මාමා තමයි මෙහෙම කියන්නේ. මාමා විතරක් නෙවෙයි මාමාගේ ප්‍රිය බිරිඳත් මේ වස්සන්ට හරිම ආදරෙයි.
කරත්ත බස
ඉස්සර අපේ ගෙවල්වල ඒයි ඕයි වගේ වචන පාවිච්චි කළාම අම්මලා අහනවා මොකද කරත්ත කාරයෝ ද කියලා. කරත්ත රස්සාවෙ දී වස්සන්ට කතා කරන විදිහක් තියෙනවා. ඒකට තමයි කරත්ත භාෂාව කියන්නේ. සමහර වෙලාවකට ඒ යන වේගය වගේ දේවල් එක්ක මේ වචන වේගයෙන් දමලා ගහනවා. කරත්ත භාෂාවේ පාවිචිචි කරන සීමිත වචන මාලාව අස්සේ දෙමළ වචනත් තියෙනවා. හෝව් පුතා කියලා ගොඩක් වෙලාවට නාස් ලණුව අදිනවා. එතකොට වස්සා නතර වෙනවා. සමහර වස්සෝ එහෙම අහන් නැහැ. ඒත් දුවනවා එතකොට ඉතින් ටිකක් විතර කේන්ති යනවා. එහෙම වෙලාවට හෝව් කොටියා කියලාත් කියනවා. දක්කන්න පටන් ගන්නකොට කියන වචනත් තියෙනවා. ඒක හරියට යමං පුතා වගේ වචනයක්.
මෙහෙම භාෂාව දාගෙන ආදරයෙන් රැුකබලාගෙන හිටියත් අවුරුදු 5ක් විතර ගියාට පස්සේ මේ වස්සෝ ලොකු ගාණකට විකුණනවා. දයාරත්න මාමා ඒ ගැනත් කතා කළා.
මවු වස්සෝ දෙන්නා හුරු කරලා අවුරුදු 5ක් විතර යනකොට උන් හොඳම වයසට එනවා. එතකොට ගාය වැඩියි. සමහර වෙලාවට එකට බැඳලා ඉන්න දෙන්නම ඇණ ගන්නවා. ආම්බාන් කරන්න අමාරුයි. එහෙම වෙලාවට අපි මුස්ලිම් අයට විකුණනවා. එයාලා ඔය පොතුවිල පැත්තට ගෙනිහිල්ලා බර වැඩ ගන්නවා.
මේ වයසට ආවට පස්සේ නාම්බෙක් රුපියල් ලක්ෂ 1 1/2 කට විතර විකුණන්න පුළුවන්.
මෙහෙම විකිණෙන යමං පුතාලගේ ජීවිතය මෙතනින් පස්සේ ඉතින් මස් කඩයක කොක්කකින් කෙළවරට එනවා. එක පැත්තකින් හරකෙකුට නැතිනම් වස්සකුට උරුම ජීවිතයත් එයම වගේ.
ළඟ ඉන්නකොට ගොඩාක් ආදරයෙන් බලා හදාගෙන රක්ෂාව කරගන්නවා. හරි හම්බ කර ගන්නවා. බලාගන්න බැරි වයසට ආවහම විකුණලා දානවා. මේ න්‍යාය ලෝකයේ බොහෝ දේවල්වලට පොදුයි. ජීවිතය කියන්නේ එයම හැර අන් වෙන යමක් විය හැකිද? මට නම් හිතෙන්නේ නැත කියලයි.