ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම මලල ක්‍රීඩා තරඟාවලියක් ලෙස ඉතිහාසයට එක්වන ශ්‍රී ලංකා පොලිස් මලල ක්‍රීඩා උළෙල පෙබරවාරි මස 26, 27 සහ 28 යන තෙදින තුල  බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී අති උත්කර්ශවත් අන්දමින් පවත්වනු ලබයි. 83 වන වරට පවත්වනු ලබන මෙම සුවිශේෂි මලල ක්‍රීඩා උළලේ සාමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගී වන අතර, විශේෂ අමුත්තෙකු ලෙස  මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය හා අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්‍ෂිතතාවය සහ පාරිභෝගීක සුබ සාධන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සහභාගී වීමට නියමිතය.

ප්‍රාදේශීය මෙන්ම පරිපාලන කොට්ඨාස 58 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනේ සිව්දෙසින් මෙම තෙදින තුල බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයට එක් රොක්ව තරඟවැදීමට නියමිය. පෙරබවාරි මස 26 වන දින අළුයම සාම්ප්‍රදායික ඔලිම්පික් පහන දැල්වීමේ උත්සවයෙන්  ක්‍රීඩා උළෙල ආරම්භ වන අතර, සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා සහභාගී විය. මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ජවන හා පිටිය ක්‍රිඩා ඉසව් 43 කින් මෙම මලල ක්‍රීඩා උළෙල සමන්විත වන අතර, තරඟකාරි ඉසව්වලට අමතරව දිවයිනේ පළාත් 09 නියෝජනය කරමින් පාසල් බාලක බාලිකාවන් සහභාගී වන මීටර් 100 x 4 ආරාධිත සහය දිවීමේ තරඟයන්ද මෙම ක්‍රීඩා උලෙල සුවිශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇත.

ප්‍රථම මලල ක්‍රිඩා උළෙල පවත්වා ඇත්තේ 1‍902 වර්ෂයේ කොළඹ තුරඟ තරඟ පිටිය කේන්ද්‍රකොටගෙන වන අතර, මෙම උළෙල ආරම්භ කිරීමේ ගෞරවය එවකට සිලෝන් පොලිස් ලෙස හැඳින් වු වර්ථමාන ශ්‍රී ලංකා පොලීසියේ සිව්වන පොලිස්පතිවරයා ලෙස පත්ව සිටි මේජර් එෆ්. නොලිස්  වෙත හිමිවේ. ප්‍රථම මලල ක්‍රීඩා උළලේදී දක්‍ෂතම ක්‍රීඩකයා වෙත පිරිනැමෙන ශූරතා පලිහ ක්‍රීඩා උලලේ නිර්මාතෘ වු මේජර් එෆ්. නොලිස් මහතා විසින් ඔහුගේ නමින් ප්‍රධානය කර ඇති අතර, වර්ථමානයේදී ප්‍රධානය කෙරෙන නොලිස් පලිහ දැනට ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ජයග්‍රහයෙකුට පිරිනැමෙන පැරණිතම ශුරතා පලිහ ලෙස  ද,  ඉතිහාසයේ සුවිශේෂි ස්ථානයක් හිමිකරගෙන සිටියි. 1902 වර්ෂයේ ආරම්භ වු පොලිස් මලල ක්‍රීඩා උළෙල 1926 වර්ෂයේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය වෙත රැගෙන ගොස් ඇති අතර,  1926 වර්ෂයේ සිට මෙම ක්‍රිඩා උලෙල පවත්වා ඇත්තේ බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙනය.

පොලිස් මලල ක්‍රීඩා උළෙල තුලින් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලයට පියමන් කරන ලද ක්‍රිඩක ක්‍රිඩිකාවන් විශාල සංඛ්‍යාවකි. ඔවුන් ඒ අතරින් තුන් පිම්ම ඉසව්වෙන් සුවිශේෂි දක්‍ෂකම් දක්වා ඇති පී.එල්. කරුණාසේන ( 1970 ආසියානු ක්‍රීඩා උළෙල ටෙහෙරාන් ඉරාන් තුන් පිම්ම අඩි 48 ,1 1/8 )  මීටර් 100 සහ 200 ඉසව්වල ජාතික ශුරයා වු දෙවන ශ්‍රී ලංකේය පොලිස්පතිධුරය දැරු ඔස්මන් ද සිල්වා, 1935 වර්ෂයේ සිට 1948 වර්ෂය දක්වා කවපෙත්ත ඉසව්වේ ජාතික ශූරයා වු චන්ද්‍රසේනානායක, 1932 වර්ෂයේ සිට 1938  දක්වා වසර 06 ක් යගුලිය විසි කිරීමේ ජාතික ශුරයා වු සී.සී. දිසානායක, රිටි පැනීම ඉසව්වෙන් ජාතික මෙන්ම ජාත්‍යන්තර තලය නියෝජනය කරන ලද ආතර් ක්ලිටස් ඩෙප්,  දස ප්‍රයාම ඉසව්වෙන් වාර්තා පිට වාර්තා තැබු රෝම සොල්දාදුවා ( Roman Soldier ) ලෙස ක්‍රිඩා ක්‍ෂ්ත්‍රයේ අන්වර්ථ නාමයෙන් හැඳින්වු ක්‍රිස්ටි දරිජු 1973 ඉන්දු ලංකා ද්වන්ධ මලල ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රිඩා කණ්ඩායමේ නායකත්වය දැරු හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ජාතික ශුරයා වු පියදාස ප්‍රනාන්දු පොලිස් මලල ක්‍රීඩා උළෙල අදටත් පවතින වසර 56 ක් පැරණි වාර්තා වන යාර 440 කඩුළු පැනීමේ ඉසව්ව නියෝජනය කළ නිමල් ප්‍රනාන්දු, 1958 – 1960 වර්ෂයන් හී උස පැනීමේ ඉසව්වේ ජාතික ශුරයා වු කේ. සත්තුණරාජා, 1974 – 1973 වර්ෂයන් වල  මීටර් 5000 – 10,000 ඉසව් වල ජාතික ශුරයා වු රාමලිංගම් රාජේන්ද්‍රන්, පොලිස් ක්‍රීඩා ඉතිහාසයට එක්වුනු අසම සම ක්‍රිඩකයින් ලෙස හැඳින්විය හැක.

මෙම ක්‍රිඩකයින්ට අමරව 1962 වර්ෂයේ  මීටර් 400 ඉසව්වේ ජාතික ශුරයා වු ඕ.කේ. හේමචන්ද්‍ර යාර 120 කඩුළු පැනීමේ ඉසව්වේ පාසල් ශුරයා වු චන්ද්‍රා මෙන්ඩිස්, 1966 වර්ෂයේ පවත්වන ලද ඉන්දු ලංකා ද්වන්ධ මලල ක්‍රිඩා උළෙලේ තුන් පිම්ම සහ දුර පැනීමේ ඉසව් වල රන් පදක්කම දිනු චින්නයියා නවරත්නම්, 1972 – 1978 තුන් පිම්ම ඉසව්වේ ජාතික ශුරයා වු ප්‍රේමලාල් වීරසිංහ , මීටර් 400 ඉසව්වේ ජාතික ශුරයා වු ආර්.වී. වීරසුන්දර, මීටර් 800 ඉසව්වේ සාෆ් ක්‍රිඩා උලලේ රන් පදක්කම් ලාභි රංජිත් සුභසිංහ (1993  දෙසැම්බර් 25 ඩකා බංගලාදේශ 1:4:56) , මීටර් 100 ඉසව්වේ ජාතික ශුරිය වු අචලා ඩයස්, මීටර් 400 සහ මීටර් 800 ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ලසන්ති දීපිකා, දස ප්‍රයාම ඉසව්වේ ජාතික ශුරිය වු සමිලා අයේෂා, කාන්තා මැරතන් ධාවන ශුරියන් වු මල්කාන්ති වීරක්කොඩි සමග මල්ලිකා චන්ද්‍රකාන්ති, මීටර් 100 ඉසව්ව ශ්‍රී ලංකාව නියෝජනය කල නදීශානී වරාගොඩ, මීටර් 100  මීටර් 200 ශ්‍රී ලංකාව නියෝජනය කල එස්.කේ. පතිරණ ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ දක්‍ෂතාවයන් පොලිස් මලල ක්‍රීඩා අඹර ඒකාලෝක කිරීමට සමත්වු  බව ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

විසිවන සියවසයේ මුල් භාගය තුල ශ්‍රී ලංකේය මලල ක්‍රීඩා ක්‍ෂේත්‍රය රනින් සනිටුහන් කළ පොලිස් මලල ක්‍රීඩකයින් විශාල සංඛ්‍යාවකි. ඔවුන් අතර ශ්‍රී ලංකීය මෙන්ම බිත්‍රාන්‍ය ජාතිකයින් ද  සිටින බව එම වාර්තා අපට පෙන්නුම් කරයි. මෙම මලල ක්‍රීඩා දැවැන්තයින් අතර සී.සී. ලැබ්රෝයි, ඩී.එස්. ද සිල්වා, ඩබ්.ටී. සීබල්, එස්.ඒ. දිසානායක, ආර්. ඊ. කිටෝ, ඩබ්. ටී. සෑන්ඩර්ස්, ඩේවිඩ් තම්බයියා, ආර්.ඒ  ස්ටොක්, ආර්.ආර්. ස්කොට්, බර්ට්‍රස් පෙරේරා, ලෙස්ලි ජයබන්දු, අයිවන් බොතේජු, ඔස්වල්ඩ් රාජපක්‍ෂ, වී.ටී. මහාලිංගම්, පී. මහේන්ද්‍රන් (බෲට්), ට්‍රේවෝ බාත්ලෝ, ආර්.ඒ.එෆ්. පෙරේරා ප්‍රමුඛත්වෙහිලා ගැනේ. මෙම ක්‍රීඩකයින් ශ්‍රී ලාංකේය මෙන්ම ජාත්‍යන්තර තලයද විජග්‍රහණය කළ දක්‍ෂ මලල ක්‍රීඩකයින් මෙන්ම, තම හැකියාව තුලින් ඉතා විශිෂ්ඨ ලෙස පොලිස් රාජකාරි ඉටුකරන ලද දක්‍ෂ පොලිස් නිලධාරීන් වීමද අප විසින් ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

මෙම ක්‍රීඩකයින්  අතරින් 1990 වර්ෂයේදී නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දිවි පිදු ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ අති දක්‍ෂ මලල ක්‍රීඩකයෙකු වු පොලිස් අධිකාරි අයිවන් බොතේජු ගැන සුවිශේෂ සටහනක් එක් කිරීම ඔහුට කරන ගෞරවයක් ලෙස සැලකිය යුතුය.

1902 වර්ෂයේ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සහභාගීවීමේ අවකාශය සලසමින් ආරම්භ වු පොලිස් මලල ක්‍රීඩා උළෙල 1948 ප්‍රථම ශ්‍රී ලාංකේය පොලිස්පති වු ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතාගේ කාලය තුළ පළාත් මට්මින් ක්‍රියාත්මක වු අතර,  1967 වර්ෂයේ 17 වන පොලිපතිවරයා වු ඇලරින් අබේගුණවර්ධන මහතාගේ වකවානුව තුළ ක්‍රියාත්මක වර්ථමානයේ ක්‍රියාත්මක වන පොලිස් කොට්ඨාස මට්ටම දක්වා ව්‍යාප්ත වී ඇත.

මුළු දිවයිනම ආවරණය වන පරිදි උතුරු කොනේ කන්කසන්තුරයෙන් ද, දකුණු කොනෙන් තංගල්ලෙන් ද, නැගෙනහිරින් මඩකළපුවෙන් ද, බස්නාහිරින් කොළඹ ද වැනි ගම් නියම් ගම් සිසාරා ප්‍රාදේශීය පොලිස් කොට්ඨාස 44 ක් මෙන්ම, කොළඹ කේන්ද්‍ර කොටගත් පරිපාලන කොට්ඨාස 14 ක් ද නියෝජනය කරමින් පුරා දින 03 ක් මුළුල්ලේ එකිනෙකා හා උරෙන් උර ගැටී තරඟ වදින පොලිස් ක්‍රිඩක ක්‍රිඩිකාවන් පොලිස් මලල ක්‍රිඩා උළෙල අවසානයේ සාම්ප්‍රදායික කොඩි අඩකුඹු කිරීමේ කිරීමේ සංදර්ශණයෙන් පසු ඔලිම්පික් පහන් සිළුව නිවි යද්දි  නැවතත් තවත් වසරකින් හමුවන බලාපොරොත්තුව සිත තුල රදවාගෙන පොලිස් ක්‍රිඩාංගණයෙන් නික්ම තම සේවා ස්ථාන කරා ඇඳි යන්නේ සහෝදරත්වයෙන් එකට බැඳුණු ශ්‍රී ලංකා පොලීසියේ අභිමානය සිත්තුළ රඳවාගෙනය.

More Stories