ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නීති කඩකළ බවට චෝදනා ලැබු බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ට වසරක් අත්හිටවු වසර දෙකක තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

2018 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේදී පැවති තුන්කොන් එක්දින තරගාවලියේදී සහ එම වසරේම පැවති ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ ශකීබ් අල් හසන් තරග පාවාදීමට තැරව්කරුවන් කළ බලපෑම් සම්බන්ධයෙන් ICC ය දැනුවත් නොකිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ නීති රීති කඩකළ බවට ශකීබ්ට චෝදනා එල්ල කරමින් මෙලෙස තරග තහනමක් පැනවීමට කටයුතු කර ඇත.

32හැවිරිදි ශකීබ් අල්හසන් ටෙස්ට් තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයේ පසුවන අතර විස්සයි විස්ස තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් වල දෙවන ස්ථානයේ පසුවෙයි. ඔහු එක්දින තුන්ඉරියව් ක්‍රීඩක ශ්‍රේණීගත කිරීම් වල පසුවන්නේ පළමු ස්ථානයේයි.

තරග තහනමෙන් පසු ශකීබ් නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසිය යුත්තේ එළඹෙන වසරෙ ඔක්තෝබර් 29 වැනිදාය.

ශකීබ්ට පනවා ඇති තරග තහනම හේතුවෙන් බංග්ලාදේශ පිලේ ඉන්දීය සංචාරයේදී විස්සයි විස්ස නායකත්වය මහමදුල්ලාට පිරිනමා ඇති අතර ටෙස්ට් නායකත්වය මොයිමුල් හක්ට පනවා තිබේ.

More Stories