දේශීය ක්‍රිකට් තරග බිමට නව මුහුණුවරක් එක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන නැෂනල් සුපර් ලීග් (NSL) සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර අද (19) ආරම්භ වෙයි.

මෙරට පළමු පෙළ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ 26ක ක්‍රීඩකයෝ 101ක් මේ තරගාවලියට එක් වන අතර, ඔවුන් කලම්බො, ගෝල්, කැන්ඩි, දඹුල්ල සහ ජැෆ්නා ලෙස කණ්ඩායම් 5ක් යටතේ තරග වදිති. එහිදී ගෝල් කණ්ඩායමට ක්‍රීඩකයන් 21ක් ඇතුළත් වන අතර, සෙසු කණ්ඩායම් 4ට ක්‍රීඩකයෝ 20 බැගින් ඇතුළත් කර තිබේ.

පසුගිය වසරේ පළමු වරට පැවති තරගාවලියේදී කැන්ඩි කණ්ඩායම ශූරතාව කරා ගෙන ගිය කමිඳු මෙන්ඩිස් මෙවර තරගාවලියේදී දඹුල්ල කණ්ඩායමට නායකත්වය දෙන අතර, කුසල් මෙන්ඩිස් (කලම්බු), රමේෂ් මෙන්ඩිස් (ගෝල්), ධනංජය ද සිල්වා (ජැෆ්නා) සහ නිරෝෂන් දික්වැල්ල (කැන්ඩි) කණ්ඩායම් නායකයෝ ලෙස කටයුතු කරති.

මේ කණ්ඩායම්වල පිළිවෙළින් මිනෝද් භානුක, දිමුත් කරුණාරත්න, සංගීත් කුරේ, සදීර සමරවික්‍රම සහ චාමික කරුණාරත්න උපනායකයෝ ලෙස කටයුතු කරති. මේ තරඟාවලිය ජාතික ටෙස්ට් සහ එක්දින සංචිත සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට අවස්ථාවක් වන අතර, කෙසේ වෙතත් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් කිහිප දෙනකුට මුල් තරග අහිමි වී තිබේ. ඒ ඔවුන් විදෙස් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා එක්ව සිටීම හේතුවෙනි.

මෙරට ප්‍රධානතම දේශීය සිව්දින ක්‍රිකට් තරගාවලිය ලෙස සැලකෙන මේ තරගාවලියට තරග 13ක් ඇතුළත් වන අතර, මාර්තු මස 2 වැනිදා අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පෙබරවාරි 19 වැනිදා තෙක් පැවැත්වෙන මූලික වටයේ තරග කොළඹ (එස් එස් සී, ආර්. ප්‍රේමදාස, පී. සරා ඕවල්), හම්බන්තොට, පල්ලෙකැලේ, දඹුල්ල සහ ගාල්ලේදී පැවැත්වෙන අතර, එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. එම තරග දෙක පෙබරවාරි 23 වැනිදා සිට හම්බන්තොට සහ එස් එස් සී පිටියේදී පැවැත්වෙනු ඇත. මාර්තු 2 දා සිට 5 දා දක්වා අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

අද තරගාවලිය ආරම්භ කරමින් කලම්බු – කැන්ඩි කණ්ඩායම් එස්එස්සී පිටියේදීත්, දඹුල්ල – ගෝල් කණ්ඩායම් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙයි.

More Stories