ක්‍රිකට් තරගයකදී පන්දුව ඔප දැමීම සඳහා ඛේඨය තැවරීම වහාම තහනම් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කමිටුව නර්දේශ කර තිබේ. කොරෝනා වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබ ඇති සෞඛ්‍ය උපදෙස් මත පදනම්ව ක්‍රිකට් කමිටුව විසින් මෙම නිර්දේශය කර තිබේ.

පන්දුව ඔප දැමීමට වෙනත් ද්‍රව්‍යයක් භාවිතා කිරීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණද එවැනි ද්‍රව්‍යයක් උපයෝගී නොකොට දහඩිය භාවිතයෙන් පමණක් පන්දුව ඔප දැමීමට අයි.සී.සී. අවසරය ලබාදී තිබේ. පන්දුව ඔප දැමීම සම්බන්ධයෙන් වෙනත් ද්‍රව්‍යයක් සොයා ගැනීමට අයි.සී.සී.ය උත්සහ කරද්දී ඒ සම්බන්ධයෙන් නොයෙකුත් මත පළ විය.

පන්දුව ඔප දැමීමට කෙළ භාවිතා කිරීම තහනම් වුවත් දහඩිය භාවිතා කිරීම තහනම් නොවන බව අයි.සී.සී.ය පවසයි. ‘‘වෛරසය දහඩිය සමග සම්පේ‍්‍රෂණය වීමට බොහෝ දුරට ඉඩක් නැහැ. පන්දුව ඔප දැමීම සඳහා දහඩිය භාවිතය තහනම් කිරීමේ අවශ්‍යතාවක් එමගින් ඇති වන්නේ නැහැ.’’ යනුවෙන් අයි.සී.සී. වෛද්‍ය කමිටුව වැඩිදුරටත් පවසයි.

“අපි දැන් සිටින්නේ අති විශේෂ කාල වකවානුවක. මේ කමිටුව විසින් නිර්දේශ කරන ලද දේ, අපගේ ආරක්‍ෂාව සඳහාත්, ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කිරීම සඳහාත් ගනු ලැබූ තාවකාලික පියවර පමණයි. එහි මූලික අරමුණ වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලු දෙනාම ආරක්‍ෂා කරගැනීමයි” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටු සභාපති අනිල් කුම්බල් මහතා පැවසීය.

More Stories