ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පැමිණ ක්‍රීඩා කිරීම සම්බන්ධ ගෞරවය සියලු ශ්‍රී ලාංකිකයන්ට පුදකර සිටින බව පාකිස්තාන ක්‍රිකට් සභාපති ඒෂාන් මානී මහතා පවසයි.

වසර 10කට පසු පාකිස්තානයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව යළිත් ගොඩනැගීමට සහය දුන් ශ්‍රී ලංකා රජයටත්, ඉතාම සමීපව කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයටත් විශේෂ ස්තූතියක් පුදකරන බව මානී මහතා පැවැසීය.

පාකිස්තාන ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉදිරියේදී පැවැත්වෙනවා. ඒ තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් 235 ක් අයැදුම් කොට තිබෙනවා. එයින් තෝරා ගන්නේ 30 ක් හෝ 35 ක් පමණයි. 200 කට අධික ක්‍රීඩකයන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, දකුණු අප්‍රිකාව යන රටවල්වලින් ඇයැදුම්කොට තිබෙනවා.

අප දන්නවා ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය ඉදිරියේ පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අපෙන් ඉල්ලීමක් කළොත් අනිවාර්යයෙන්ම අපේ ක්‍රීඩකයන්ව ඒ තරගාවලියට එක් කරනවා

ක්‍රීඩාවෙන් දේශපාලනය ඈත්විය යුතු බව මගේ හැඟීමයි. ඉන්දියාව හා පාකිස්තානය අතර පවත්වන තරගවලට ඉහළම ඉල්ලුමක් තියෙනවා. ඒත් තරග පැවැත්වෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක්.

ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියා – පකිස්තාන අතර තරගය ආකර්ශනීය එකක් වුණා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩල අතර කිසිදු ගැටලුවක් නෑ. ඉදිරියේදී සියලු ප්‍රශ්න විසදී ක්‍රීඩාවට මුල් තැනක් ලැබෙනු ඇති බව විශ්වාසයයි ඒෂාන් මානී මහතා පැවැසීය.

More Stories