ලොව බිහි වු විශිෂ්ටතම දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය කෙරෙන “800” සිනමාපටයට එරෙහිව ඉන්දීය පිරිස් විසින් එල්ලකරන විරෝධයට මුත්තයියා මුරලිදරන් ප්‍රතිචාර දක්වා තිබේ.

ලොව වැඩිම ටෙස්ට් කඩුළුලාභියා සහ ලොව අංක එකේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ක්‍රිකට් පිටියේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දුන් සිදුවීම් පාදක කරගනිමින් “800” (එයිට් හන්ඩ්‍රඩ්) නම් මෙම දමිළ චිත්‍රපටය නිර්මාණය කිරීමට නියමිතය.

දකුණු ඉන්දිය නිෂ්පාදනයක් වන “800” නම් සිනමා පටයේ විඩියෝවක් පසුගියදා එළි දැක්වීමත් සමඟ දකුණු ඉන්දියානු ජනතාව, දේශපාලනඥයින් සහ බොහෝ පිරිසක් මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට එරෙහිව විරෝධය පළ කර තිබුණි.

ඒ දෙමළ ජනතාව ඝාතනය කෙරුණු රටක ක්‍රීඩකයකු වෙනුවෙන් සිනමාපටයක් නිර්මාණය කිරීමට තමන් එරෙහි වන බව පවසමිනි.

එම විරෝධයට මුත්තයියා මුරලිදරන් ලිපියක් මගින් මෙලෙස ප්‍රතිචාර දක්වා තිබුණි.

”ශ්‍රී ලංකාවේ 30 වසරක් පුරා පැවති යුද්ධය නිසා අපි පීඩාවට පත් වුණා. යුද්දෙන් වැඩිපුරම පීඩාවට පත් වුණේ ඉන්දියාවෙන් ආපු දෙමළ මිනිසුන්.

යුද්දෙන් එන පීඩාව සහ වේදනාව මම හොඳටම දන්නවා. මේ වගේ තත්වයක ඉඳන් මම කොහොමද ක්‍රිකට් වාර්තා තිබ්බේ කියන එක තමයි මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන්නේ.

මේක සමහරු දේශපාලනීකරණය කරන්න හදනවා. උදාහරණයක් විදියට 2009 තමයි මගේ ජීවිතේ සතුටුම අවුරුද්ද කියලා මම 2019දී කියපු කතාව දෙමළ මිනිසුන් මරපු දවස තමයි මුරලිට සතුටුම දවස කියලා සමහර අය ලියලා තියෙනවා.

මම කිසිම දවසක අහිංසක ජීවිත මරණ එකට සහයෝගය දුන්නේත් නැහැ…දෙන්නේත් නැහැ… සමහර අය ඒගෝල්ලන්ගේ නොදැනුවත්කම නිසාත්, තවත් සමහර අය දේශපාලන හේතුමතත්, මම දෙමළ ජාතියට එරෙහි වුණ කෙනෙක් විදියට පෙන්වන එක මට වේදනාකාරියි.”

Similar Posts