ජපානයේදී මේ වනවිට පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායම හා ඉතාලි කණ්ඩායම අතර තරගය එළඹෙන සෙනසුරාදා දින (12) ජපානයේ, ටොයෝටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. Hagibis සුළි කුණාටුව මේ වනවිට පැසිෆික් සමුද්‍රය ඔස්සේ වර්ධනය වී පැයට කිලෝමීටර් 270ක වේගයක් ලබාගෙන ඇති අතර, එය ටෝකියෝ නගරය ආසන්නයේ ඇති යොකොහමා නගරයට ළඟා වී ඇත. ඒ අනුව ජපානයේ කයූශි, ශිකෝකු හා හොන්ශු යන දූපත් වලට මෙම සති අන්තයේ දී සුළි කුණාටුව බලපෑම් කරනු ඇත.
රග්බි ඉතිහාසයේ මින් පෙර ඉතාලිය විසින් නවසීලන්තය පරාජය කර නොමැති අතර, මෙම තරග අවලංගු කිරීම නිසා කණ්ඩායම් දෙකටම ලකුණු දෙක බැගින් ලබා දීමට තීරණය කර ඇත. එම තරග ලකුණු වාර්තා නොවූ ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ලෙස සැලකේ. එංගලන්තය හා ප්‍රංශය අතර තරගය ද මෙම සුළි කුණාටුව නිසා අවලංගු කර ඇති අතර, එම කණ්ඩායම් දෙකට ද ලකුණු දෙක බැගින් හිමිව ඇත. වසර 32ක ඉතිහාසයක් ඇති රග්බි ලෝක කුසලානයේ තරගයක් අවලංගු වූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම අවලංගු කිරීමෙන් අනතුරුව නවසීලන්තය හා එංගලන්තය B හා C කාණ්ඩවල පෙරමුණ ගැනීමට සමත්ව ඇත. එම කාණ්ඩ වල දෙවන ස්ථානයන් දකුණු අප්‍රිකාවට හා ප්‍රංශයට හිමිව ඇත. නවසීලන්ත කණ්ඩායම තරගාවලියේ මුල් සතිඅන්තයේ දී දකුණු අප්‍රිකාව ලකුණු 23-13 ක් ලෙස පරාජය කළ අතර, ඔවුන් මුළු ලකුණු 16 ක් ලබාගෙන B කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත. දෙවන ස්ථානය ලබාගෙන ඇති දකුණු අප්‍රිකාව ලකුණු 15 ක් ලබාගෙන ඇත.

රග්බි ලෝක කුසලානයට මෙලෙස සුළි කුණාටු අවදානමක් එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනාවැකි පලකර තිබූ අතර, ක්‍රීඩාලෝලීන් ද ඒ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. කෙසේ වෙතත් මේ වනවිට Hagibis සුළි කුණාටුව 5 වැනි මට්ටමේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇත.

More Stories