පළාත් සභා මැතිවරණය පැවැත්වීම ආණ්ඩුව නොපවත්වා හිඳීම බරපතල වරදක් බවත්   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තව දුරටත් ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් පමණක් යොදාගෙන පළාත් සභා පවත්වාගෙන යාම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නොසලකා හැරීමක් බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක  තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  ඓතිහාසික දිඹුලාගල සේනාසනයේ නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටත් වැඳ පුදා ගැනීමටත්   පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

“සමගි බලවේගය පළාත් සභා මැතිවරණය සඳහා අපි දැනටමත් සූදානම්.පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි.ආණ්ඩුව විවිධ හේතූන් ඉදිරිපත් කරමින් එය මගහරිමින් සිටිනවා.ප්‍රශ්න කිහිපයක් තිබෙනවා අපි ඒ ගැන දන්නවා.මැතිවරණය පැවැත්වීම පිළිබඳව නිශ්චිතව තීන්දුවක් අරගෙන නෑ කොයි ආකාරයට මැතිවරණය තියනවාද කියලා.

ඒ නිසා ආණ්ඩුව වහාම පාර්ලිමේන්තුවට පළාත් සභා මැතිවරණය කුමන ආකාරයකින් පැවැත්වෙනවා ද කියන කාරණය..මොකද එහෙම නැත්නම්   පරණ පනත ඉල්ලා අස් කරගෙන පැරණි ක්‍රමයට මේ මැතිවරණය පවත්වන්න ඕන ද කියන එකත් ගැන තීරය කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.ආණ්ඩුව මේ ගැන හිතන්න ඕන.මොකද ආණ්ඩුවට පළාත් සභා මැතිවරණය නොපවත්වා ඉන්න බැහැ.එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම කොටසක්.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජන නියෝජිතයන් ‍තෝරා පත් කරගත යුතු ආයතනවල පාළනය ගෙන යා යුත්තේ ආණ්ඩුකාරවරුන් හා රාජ්‍ය නිලධාරින් හරහා නෙවෙයි.

එය මහජන නියෝජිතයින් හරහා කළ යුතුයි.තව දුරටත් විවිධ හේතුන් ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය මගහරින්න ආණ්ඩුවට බෑ.මොකද එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බරපතල වරදක්.

අද ආණ්ඩුව හැම පැත්තෙන් ම අසාර්ථකයි.ආණ්ඩුව ෆේල් කීවේ ඒකයි.ආණ්ඩුව බලය ගන්න මැතිවරණ වේදිකාවේ දී ජනතාවට දුන්න පොරොන්දු එකින් එක බිඳ දමමින් තිබෙනවා.මහජන විශ්වාසය සම්පූර්ණයෙන් ම බිද වැටිලා.බරපතල ලෙස ප්‍රශ්න ගණනාවක් උද්ගතවෙමින් තිබෙනවා.එකක් තමයි මිනිස්සුන්ට ජීවත්වෙන්න බෑ.ජීවන බර උසුලා ගන්න බැරිතරමට ඉහළ යමින් තිබෙනවා.

ඒක පාළනය කරගන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා.ආණ්ඩුව ඒකට කිසි උත්සාහයක් දරන්නෙත් නෑ.සිංහල අලුත් අවුරුදු සමය එනවා.මේ සඳහාවත් ආණ්ඩුව සහනයක් දෙන්න කටයුතු කරන්නේ නෑ.ඒක එකක්.දෙවෙනි එක රටේ පරිසරය විනාශ වෙනවා.වනය විනාශ වෙනවා.කැලෑ කපනවා.වෙන කවදාකටත් වඩා කැලෑ කපනවා.

අනිත් එක ආණ්ඩුවක් නෑ අද මොකද  ආණ්ඩුව අයාලේ යනවා කියලා චෝදනවක් ජනතාවගෙන් තියෙනවා.කිසිදු පාළනයක් නෑ අයාලේ යන්න ඇරලා කිසිදු වගකීමක් අද ආණ්ඩුවට නෑ.” යැයි ද පැවසීය.මෙම අවස්ථාවට පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කිංස් නෙල්සන් මහතා සහ පොලොන්නරුව තරුණ නායකත්වය නියෝජනය කරමින් සුජීව හේරත් යන මහත්වරුද එක්ව සිටිය හ.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories