mathiwarana-komition-sabawa
සාමාන්‍යයෙන්  ,මැතිවරණ  කොමිෂන්  සභව හෝ මා  ,අප සම්බන්ධයෙන්  දේශපාලනඥයින්  විසින් කරන ප්‍රකාශ වලට  පිළිතුරු  දෙන්නේ නැහැ . එසේවුවත් Covid  19  ආපදාව හේතුවෙන්  පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී  ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය  වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින්   වැළකී සිටිය යුතු බවට  මැකොස කළ ප්‍රකාශ   හා නිකුත්  කළ ලිපි  පිළිබදව   කරන ලද බරපතල විවේචනය  සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව   බොහෝදෙනකු  අපෙන් ඉල්ලා  සිටීයි .
මේ  ව්‍යවස්ථාපිත මැතිවරණ  කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක  පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය  බව,   ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය  බව  මාත් හිතනවා . ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් tone එකෙන්  උත්තර  දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ .
    මැකොස කිසිවිටක කියා නැහැ, ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින්  සම්බන්ධ  නොවිය යුතු බව . අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග  හරහා  දේශපාලනඥයින්  / අපෙක්ෂකයන් ,ස්වකීය පක්ෂය  හෝ අපේක්ෂකත්වය  ප්‍රවර්ධනය  නොකළ යුතු බවයි
 එය ඡන්දවිමසීම්  කාලයකදී පමණක්  නොව ශිෂ්ට  රටකදී  සාමාන්‍ය  තත්වය  යටතේවුවද නොකළ යුතු බවයි අපේ මතය . යහපත් පුරවැසියන්  සියලු දෙනාම එයට එකඟ බව  අප දන්නවා
    අප  පෙර සඳහන්  ප්‍රකාශ   කළේ  සහන ලබාදීම හරහා දේශපාලනමය  ප්‍රවර්ධන  සිදුකරන අපට පැමිණිලි  ලැබීම නිසා . එම පැමිණිලි වලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ . බොහෝ පැමිණිලි    එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ ,. ඒ පැමිණිලි වැැඩි සංඛ්‍යාවක්  ,  එම පක්ෂයේම අපේක්ෂකයින්  වෙතින්  ලැබීම විශේෂිත  තත්වයක් . ඒ පැමිණිලි   ගැන  වෙනත් තැනක ලියන්න හිතනවා  .
      මේ අපේ දැනුම්දිීම්  එක් පක්ෂයකට පමණක්  අදාළ නැහැ . සෑම පක්ෂයකටම ,කණ්ඩායමකට, හා අපේක්ෂකයකුට  අදාළ බව කියන්න ඕනෙ .
    තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම  පළාත්පාලන  ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක්  ලබා ගැනීම . එය සම්පූර්ණයෙන්ම  වැරදියි .අනීතිකයි
  ඒවගේම තනතුරේ  නිල බලය ,දේශපාලනමය  බලය භාවිතා කර ආධාර එකතු කර  බෙදා දෙමින් තමන්ගේ දේශපාලන  ප්‍රවර්ධනය  සදහා යොදා ගන්නා බවට පැමිණිලි  ලැබෙනවා , එයත් වැරදියි .
   දේශපාලනඥයින්ට ,ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොද ක්‍රමය  තමයි , ඒ ආධාර , රාජ්‍ය යන්ත්‍රණය හරහා  ලබා දෙන එක . අපේක්ෂකයින්   ආධාර දෙන ඡායාරූප , වීඩියෝ ප්‍රදර්ශනය  නොකරනව තමයි හොඳ .
         ඉතා සුලු පිරිසක් , මේ ආධාර දීම හරහා ,මනාප ගැන හිතනවා ඇති , ශිෂ්ට  ,යහපත් දේශපාලනඥයින්  එහෙම කරන්නෙ නැහැ කියලයි අප හිතන්නෙ. .අප කියල තියෙන්නෙ පක්ෂය , අපේක්ෂකත්වය  ප්‍රවර්ධන  කරන්න එපා යනුවෙනුයි .,ඒක නිසා අපේ ඒ ප්‍රකාශවල  කිසි වරදක් නැතිබව   හොදින් අපේ ප්‍රකාශ  බලන  හා  ආධාර ලබාදීම හරහා වාසි ලබා ගැනීමට අපේක්ෂා  නොකරන සැමට පැහැදිලි වෙන බව අප හිතනවා .
         අාධාර දීමට වඩා බරපතල දෙයක් තමයි ,රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට , දේශපාලනඥයින්  මැදිහත්වී බලපෑම් කිරීම . , අප්රේල් 06 දා අපට සිද්ධවුණා , මේ ලැයිස්තු  සැකසීම ගැන  නියෝග දීමට ග්‍රාමනිලධාරීන්  ස්වකීය  නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට .
     මැකොස ඉල්ලා  ඇත්තේ මේ කාර්යය එනම් සහන අවශ්‍ය  තැනැත්තන්  තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම  නිර් දේශපාලනමය  කරන්න ඕන කියල තමයි .  එමෙන්ම සහනාධාර  දීම හරහා  පක්ෂ  අපෙුක්ෂක ප්‍රවර්ධන  නොකරන ලෙස
     මැකොස කිසිම පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනයට හෝ,අගතියට  පත්කිරීමට ක්‍රියාකරන්නේ නැහැ .අප ඒ කිසිවකුට පක්ෂපාතිත්වයක් නැහැ .
   අපේ පක්ෂපාතිත්වය  ජනතාවට , ප්‍රජාතන්ත්‍රවාදයට හා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවට පමණයි  .
      Covid -19  පරදවමු ,  නිදහස් හා සාධාරණ  ඡන්දවිමසීමක් පැවැත්වීමට  යහපත් වාතාවරණයක්  උදා කරගනිමු .
       ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය  ඡන්දවිමසීමයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

Similar Posts