“අපේ ජනාධිපතිතුමාටත්, ආණ්ඩුවටත් මඩ ගහන්න යොදා ගෙන තිබෙන අලුත්ම ව්‍යාපාරය තමයි පරිසරය. කිසිම පාලකයෙක් හෝ වගකිව යුතු ආණ්ඩුවක් පරිසරයට හානි කර කිසිම දෙයක් කරන්නේ නැහැ”.
ඇමැතිවරයා මේ බව කියා සිටියේ වෝටර්ස් එජ් හී සී පැවැති මාධ්‍ය හමුවේදීය. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ද සහභාගි විය.
යුද සමයේ අතහැර ගිය පාරම්පරික කෘෂිකාර්මික ගොවි බිම් එම ගොවීන්ටම ආපසු ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගොවීන් වෙනුවෙන් දිය හැකි හොඳම පිළිතුර බව ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා පැවසීය. කිසිම පාලකයෙක් හෝ වගකිව යුතු ආණ්ඩුවක් පරිසරයට කිසි විටෙක හානි නොකරන බව ඇමැතිවරයා සඳහන් කරයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා,
පහුගිය යුද්ධය කාලයේ ත්රස්තවාදීන්ගේ වැඩිම කඳවුරු සංඛ්‍යාවක් තිබුණේ වයඹ, නැගෙනහිර, උතුරුමැද උතුර සහ ඌව පළාතේ. මේ පළාත්වල තමයි අපේ රටේ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවි ජනතාව ජීවත් වෙන්නේ. කෘෂි කර්මාන්තයට අවශ්‍ය ප්‍රධාන සාධක තමයි ජලය සහ ඉඩම්. වසර 30ක් තිස්සේ ත්රස්තවාදීන් මේ ගම්වලට පැන්නා.
එම ජනතාව ඉතා අමානුෂික අත්දැකීම්වලට මුහුණ දුන්නා. ඒ කාලයේ කොටින්ට බයේ කෘෂි කර්මාන්තයට භාවිතා කළ බිම් සියල්ල අතහැර දැම්මා. අවුරුදු 30ක් යන කොට ඕනෑම ගහක් කොළක් හැදී වැඩෙනවා.
ගොවීන් කියන්නේ වගා කරන්න ඉඩම් නෑ. වන සංරක්ෂණයෙන් ඇවිත් මේ ඉඩම් ඔවුන්ට අයිතියි කියලා සලකුණු කර තියෙනවා කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්න තියෙන උත්තරය නම් ඔවුන්ගේ පාරම්පරික කෘෂිකාර්මික ගොවි බිම් ඔවුන්ට ආපසු දිය යුතුයි.
එතුමා පැහැදිලිවම කිව්වා ඔවුන් ගොවිතැන් කළ ඉඩම්වල කැලය වැවිලා තියෙනවා නම් පරණ තිබූ විදියට දෙන්න කියල. එහෙම නැතුව මහ ගස් කපන්න කියලා නෙවෙයි. ඒකවත් තාම හරියට දීලා නෑ.
මේ වචනය ඉස්සරහට අරන් අද එල්ලෙන්න වැල් නැතුව ඉන්න එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පරිසරවේදීන් යැයි කියා ගන්නා පිරිසක් එක් වී සංවිධානාත්මකව ජනාධිපතිතුමාට ආණ්ඩුවටත් කැලෑ කපනවා, පරිසරය විනාශ කරනවා කියා විශාල මඩ ව්‍යාපාරයක් අරන් යනවා.
ජේ. ආර්. ජයවර්ධන මහතා මහවැලි සංවර්ධන ව්‍යාපාරයට අක්කර ලක්ෂ හතක විශාල වනාන්තර විනාශයක් කළා. එය අපි විනාශයක් ලෙස කියන්නේ නෑ. මහවැලි සංවර්ධනයට අවශ්‍ය වුණා ඒ කැලෑ ටික. අද මේ අක්කර භාගයක් ගොවි තැනකටක සුද්ද කරන කොට කැලේ කපනවා කියලා ෆොටෝ දාලා පෙන්නනවා. පරිසරය හරහා ආණ්ඩුවට මඩ ගහන්න නොහැකියි. අපේ ජනාධිපතිවරයා තමයි මේ රටේ සිටින හොඳම පරිසරවේදියා”යැයි පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා,
ලංකා ඉතිහාසයේ පරිසරය වැඩියෙන්ම විනාශ වුනේ යුද්ධය නිසයි. ඒ යුද්ධයට නැවතීමේ ලකුණ තැබුවේ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ කියන සුසංයෝගය. යුද්ධය නැවතීම හරහා ලංකාවේ ඉතිහාසයේ සිදු වූ විශාලතම පරිසර විනාශය නැවතුණා.
ඒ යුද්ධය නවතා මිනිසුන් හා රට කොටියාගෙන් බේරා ගත්තා පමණක් නෙවෙයි මහින්ද සහ ගෝඨාභය සුසංයෝගය පරිසරයත් බේරා ගත් බව කිව යුුතුයි. කාට ඇඟිල්ල දිගු කළත් පරිසරය විනාශ කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇඟිල්ල දිගු කළ නොහැකියි.
කොරෝනා පළමුවැනි රැල්ල නිසි ලෙස පාලනය කළේ නෑ කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළාම ශ්‍රී ලංකාව සාර්ථක ලෙස එය පාලනය කළ බව එම්. සී. සී ගිවිසුමේ එල්ලුණා. එය අත්සන් නොකරන බව ඊයේ නීතිපතිතුමා උසාවියේ නඩුවදීත් ප්‍රකාශ කර තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ආවේ නැත්නම් අද එම්. සී. සී එක අත්සන් කරලා එතනිනුත් පරිසරය විනාශ වෙනවා.
ඊට පසු නැගෙනහිර ජැටියේ එල්ලුණා. ඉන්පසු මහර බන්ධනාගාරයේ. මුකුත්ම නැති තැන අධිවේගී මාර්ගයේ රූස්ස ගහේ එල්ලුණා. කොරෝනා දෙවැනි රැල්ලේ එල්ලුණා. ඒ සියල්ල ෆේල් උනා. දැන් ගිහින් එල්ලුණා පරිසරයේ. නමුත් මේ රටේ ජනතාව දන්නවා පරිසරය විනාශ කළේ කවුද, වැඩ කළේ කවුද යන්න.
ජිනීවා යෝජනා සම්බන්ධයෙන් කියනවා නම් එය සම්මත වුණේ එය ගෙනා උදවිය බලාපොරොත්තු වූ විදියට නෙවෙයි. ඉන්දියාව, ජපානය වැනි රටවල් ඡන්දය දීමෙන් වැළකී හිටියා. ඡන්දය දීමෙන් වැළකී සිටි අයට අපේ රටේ ඇත්ත තත්ත්වය පහදා දෙන්න විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් පවතිනවා.
පස්සර රිය අනතුර අවස්ථාවේ බදුල්ල හා පස්සර මහ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පොලීසිය විශාල මෙහෙයක් කරලා ජීවිත බේරා ගැනීමට කටයුතු කළා. ඒ ශෝකජනක අවස්ථාවේ එම ප්‍රදේශවාසීන් බේරා ගැනීමේ කටයුතුවලදී කටයුතු කළ ආකාරයෙන් මේ රටේ ජාතිවාදය පහළ මට්ටමේ ජන පුරවැසියන් අතර නෑ කියන පණිවිඩය දුන්නා. ඒ සියලු දෙනාට අපේ ආචාරය පුද කර සිටිනවා යැයි පැවසීය.