මේ වන විට නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වෛරසය ලෝකය පුරාවටම ව්‍යාප්ත වෙමින් පවතියි. එය දියුණු නොදියුණු භේදයකින් තොරව සියලු රටවල් ආක්‍රමණය කරමින් සිටියි. සන්නද්ධ යුද්ධ මගින් සිදු කෙරුණු ආක්‍රමණයන් අභීබවමින් කොවිඩ් 19 පෙරළි කරයි. රටවල් ආක්‍රමණය කරයි. දෙවන ලෝක යුද්ධයට එහා ගිය දරුණු මානව ඛේදවාචකයකට ලෝකය යොමු වෙමින් තිබේ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට අනුව මේ වෛරසය මර්ධනය කර ගැනීමට නොහැකි වුවහොත් මිලියන ගණනින් මිනිසුන් මිය යාහැක.අප්‍රිකාවට මෙම වෛරසය ඇතුළු වී ව්‍යාප්ත වීමෙන් වන හානිය කිසිවකුට සිතා ගැනීමටවත් නොහැකි වනු ඇත. මේ වන විට වැඩිම ආසාධීතයන් වාර්තා වන එක්සත් ජනපදයේ ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කලේ ඉදිරි කාලය ඉතා දුෂ්කර හා වේදනාකාරී වන බවයි.

මෙම වෛරසය ආරම්භ වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පරිභාහිර ඒකාධීපති ස්වරූපයේ පාලනයක් සහිත චීනයෙන් වුවද මේ වන විට මෙම වෛරසය පැතිරී යාම සීමා කර ගෙන ඇත්තේද යම් මිලිටරිමය රාජ්‍ය ක්‍රමයක් සහිත රාජ්‍යයන්ය. මෙම වෛරසය පාලනය කර ගැනීමට මිලිටරිය මැදිහත් කර ගැනීම මෙම වෛරසය මගින් ඇති කර ඇති ලෝක තත්වය තුළ සියලු රටවලට බල කරයි. එසේ නොකර මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ. මෙම වෛරසයේ වාහකයා මිනිසා බැවින් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පාලනය අත්‍යවශ්‍ය වී තිබේ. එසේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් පාලනයට මිලිටරිය මැදිහත් කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් මිලිටරිය සිවිල් කටයුතු සඳහා මැදිහත් කර ගන්නේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවයකදීය. විශේෂයෙන් යුරෝපීය රාජ්‍යයන් කටයුතු කරන්නේ ඒ අයුරිනි. ඉතාලිය මුල් අවස්ථාවේදී මිලිටරිය මැදිහත් කර නොගත් අතර ජනතාවට දැඩි නීති පැනවූයේද නැත. ඒ නිසා මෙම වෛරසය දැඩි ලෙස ඉතාලියේ ව්‍යාප්ත වූ අතර පසුව ඔවුන්ට මිලිටරිය කැඳවීමට සිදු විය. එක්සත් ජනපදය හැකි ඉක්මනින් මිලිටරිය කැඳවුවද ඔවුන්ගේ ව්‍යාප්ගිය අතිශයින්ම සීඝ්‍ර විය.

ශ්‍රී ලංකාවේද මේ ආකාරයටම මිලිටරිය කැඳවීම සිදු විය. විශේෂයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලින් ඔබ්බට ගොස් කොරෝනා මර්ධනය සඳහා පිහිටුවා ඇති කාර්ය සාධක බලකායේ සභාපතිකම ලබා දී ඇත්තේද හමුදාපතිවරයාටය. දැන් මේ වන විට කොරෝනා මර්ධනය සම්බන්ධ යටිතල පහසුකම් සැපයීම ඇතුළු බොහෝ කටයුතු සඳහා මිලිටරි සාමාජිකයන් මැදිහත් වෙයි. ඔවුන්ගේ කාර්යභාරය ඉතා ප්‍රශංසනීය වන බවද මෙහිලා සඳහන් කල යුතුය. විදේශයන්හි සිට පැමිණෙන්නන් නිරෝධායන ක්‍රියාවලියෙන් ඇරඹුනු ඔවුන්ගේ ක්‍රියාකාරකම් මේ වන විට බොහෝ පුළුල්ව පැතිරී තිබේ. IDH රෝහලේ තාවකාලික වාට්ටුව හැකි ඉක්මනින් ගොඩ නැගුවේ ගුවන් හමුදාවේ සෙබළුන්ය. නිරෝධෘයන ක්‍රියාවලින් සම්පූර්ණයෙන් පවතින්නේ හමුදාව යටතේය. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ කටයුතු සඳහාද ඔවුන් යුහුසුළුව මැදිහත් වෙයි. මෑතකදී වාර්තා වුනු ආකාරයට ඇඳිරි නීතිය සමයේ මාර්ග බාධක රාජකාරී සඳහාද හමුදාව යොදා ගැනීමට තීරණය වී ඇත.

මේ වන විට සෞඛ්‍ය අංශ මෙන්ම හමුදාවන්ද විශාල කාර්යභාරයක් කොරෝනා මර්ධනය සඳහා සිදු කරයි. කෙසේ වෙතත් මේ වන විට වඩාත් ඉස්මත් වී පෙනෙන්නේත් ඇත්තෙන්ම පෙන්වන්නේත් සෞඛ්‍ය අංශයන්හි කාර්යභාරය නොව හමුදාවේ හා පොලීසියේ කාර්යභාරයයි. මේ වන විට සමාජ මාධ්‍ය තුළත් ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය තුළත් මිලිටරියේ සුවිශේෂි මැදිහත්වීම උත්කර්ශයට නංවනු පෙනේ. සමාජ මාධ්‍ය ජාලා තුළ පාර්ලිමේන්තුවේ කිසිවකු අවශ්‍ය නොවන බවත් ජනාධීපතිවරයා හා හමුදාව සිටීම පමණක් ප්‍රමාණවත් යැයි කියන මට්ටමට මේ වන විට පැමිණ තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කලේ මිලිටරි ආණ්ඩුවක් ලංකාවට සුදුසු බවයි. මේ ආකාරයට ලංකාවට ගැලපෙන්නේ මිලිටරි ආණ්ඩුවක් බවට වන කතිකාවක් සමාජය තුළ ව්‍යාප්ත වෙමින් තිබේ.

මේ තත්වය ලංකාවට පමණක් පොදු තත්වයක් නොවේ. සමස්ත ලෝකය පුරාම පසුගිය වසර 5ක පමණ කාලයක සිට බලයට පත් වූයේ ජාතිකවාදී නායකයන්ය. ජාතාකවාදී ආණ්ඩුය. ධනේශ්වර ක්‍රමය තුළින් මතු කරනු ලැබූ ඇතැම් ප්‍රහ්න සඳහා විසදුම ලෙස මහජනයා විශ්වාස කලේ ධනේශ්වර ක්‍රමය තුළම පවතින ජාතිකවාදී ක්‍රමය බවයි. තමන්ගේ ජාතිය ආධිපත්‍යය ගත යුතුය යන අදහසින් යුත් මෙහි මීළග පියවර මිලිටරිමය ජාතිකවාදයයි. ජාතිකවාදයටත් ධනේශ්වර ක්‍රමය මගින් ඇති කරනු ලැබූ ප්‍රශ්න විසඳීමට නොහැකි වුන තැන ජාතිකාවාදී මනොභාවය විසඳුමක් ලෙස පෙන්වන්නේ තව තවත් ජාතිකවාදී වුනු ෆැසිස්ට් මිලිටරිවාදයකි.

දෙවන ලෝක යුද්ධයට පෙර යුරෝපයේ පැවැති ආර්ථික අර්බුදය ද මල පෑදුවේ ඇඩෝල්ෆ් හිට්ලර්, මුසෝලනී වැනි ජාතිකවාදී නායකයන් බිහි කිරීමටය. එහි ඊළග පියවර වූයේ අන්ත ෆැසිස්ට් ජාතිකවාදී මිලිටරි රාජ්‍යය බිහි කිරීමයි. එය ලෝකයට උරුම කලේ බිහිසුණු ව්‍යසනයකි. ලංකාවේද පසුගිය ජනාධීපතිවරණයෙන් බිහි වූයේ ජාතිකවාදී නායකයෙන් වන අතර වත්මන් ආණ්ඩුවේ දේශපාලන මතවාදය ජාතිකවාදී එකකි. ලෝකය පුරාම මේ තත්වය සිදු විය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, බ්‍රිතාන්‍යයේ බොරිස් ජොන්සන් ගේ ජයග්‍රහන හා බ්‍රිිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහන ආදී ලොව පුරා සිදු වුනු දේශපාලන සිදුවීම් කියා පෑවේ ධනේශ්වර ජාතිකවාදයේ නැගීමයි. දැන් කොරෝනා මගින් ඉල්ලා සිටින්නේ ජාතිකවාදයේ පටු සීමා වලට එහා ගිය ගෝලීය සහෝදරත්වයක් වුවත්, මෙම තත්වය ලංකාව ඇතුළු ලෝකය තුළම යොමු වන්නේ දැඩි මිලිටරිවාදී පටු ජාතිකවාදයකටම බව පෙනේ.

කොරෝනාවෙන් ඔබ්බට බිහි වන්නේ මිලිටරිවාදී ජාතිකවාදයක්නම් කොරෝනාවටත් වඩා වැඩි විනාශයක් එය මගින් ලෝකයට උදා කරනු නියතය. දෙවන ලෝක යුද්ධය තුළත් සිදු වූයේ එයයි. History Repeats???

-දුලාන් දසනායක-

උපුටා ගැනීම – http://www.aithiya.lk

More Stories